පාචනය වැලඳුණු දරුවන් ඉදිරි දින දෙක තුන තුළදී වැඩිපුර වාර්තාවීමේ අවදානමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිනමිණ’ට ඊයේ (13) පැවසීය.
මේ කාලය තුළදී මැස්සන්ගේ බෝවීම ඉහළ යාමක් සිදු වන අතර මැස්සන්ගෙන් පාචනය රෝගය බෝවීමේ අවදානමක් තිබෙන බවත් මැයි මාසය තුළදී සාමාන්‍යයෙන් පාචනය රෝගය දරුවන් තුළ ඉහළ යාමක් දකින බවත් ඒ මහතා පැවසුවේය.
මේ දිනවල පැවැත්වෙන දන්සල් මෙම රෝගය බෝවීමට එක් හේතුවක් බවත් දන්සල්වලින් පිරිසුදු ආහාර හා ජලය ලබාදීමෙන් රෝගය වළක්වාගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
පාචනය රෝග තත්ත්වයේදී බඩඑළිය යාම, වමනය යාම සිදු වන අතර එහිදී දරුවන්ගේ විජලන තත්ත්වය වළක්වා ගැනීම සඳහා ජීවනී, බැඳි හාල් කැඳ, දෙහි, දොඩම් ඇතුළු පලතුරු යුෂ වර්ග ලබාදිය හැකි බවත් ඒ මහතා කීය.
මීට අමතරව මේ දිනයන්හි චිකුන්ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා වයිරස් උණ රෝගී දරුවන්ගේ වාර්තාවීම ද ඉහළ ගොස් ඇති බවත් තමා ජීවත් වන අවට පරිසරය මදුරුවන්ට බෝවිය නොහැකි ලෙස පවත්වා ගැනීමෙන් මෙම රෝගයන්ගේ ව්‍යාප්තිය වළක්වාගත හැකි බවත් ඒ මහතා පැවසුවේය.