වසර 150කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ප්‍රධාන සංස්කෘතිකාංගයක් වශයෙන් පවත්වන නැවුම් තේ මංගල්‍යය මෙවර බදුල්ල මුතියංගණ රජමහා විහාරයේදී ඊයේ (13) පෙරවරුවේදී පැවැත්විණි.
සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු තේ ගසේ හටගන්නා අලුත් අස්වැන්න සර්වආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ප්‍රථමයෙන් පුජාකිරීමෙන් අස්වැන්නේ සරුබවක් ප්‍රර්ථනා කිරීම අතීතයේ සිටම තේ වතු හිමියන් සිදු කර තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තශාලා හිමිකරුවන්, තේ ඉඩම් හිමියන්, තේ ක්ෂේත්රයට සම්බන්ධ සියලු දෙනා එක් කරගනිමින් අටවන වරටත් සංවිධාන කළ නැවුම් තේ මංගල්‍යය වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතාගේ උපදෙස් හා ප්‍රධානත්වයෙන් ඊයේ (13) පැවැත්විණි.
බදුල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් තම වගා භූමියෙන් නෙළාගත් තේ දලු සහ කර්මාන්තශාලාකරුවන් සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු නිෂ්පාදනය කළ තේ නිෂ්පාදන රැගෙන ආරාධිතයන් සමඟ පෙරහරකින් විහාරස්ථානයට පැමිණ බෝධීන් වහන්සේ අභියසදී බුදුන්ට පූජා කිරීම සිදුකළහ.
මුතියංගණ රාජමහා විහාරයේ භාරකාර මුරුද්දෙණියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා තේ මණ්ඩලය සංවිධාන කළ නැවුම් තේ මංගල්‍යයට ඌව ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිදු හෙන්නායක, තේ මණ්ඩලයේ සභාපති රාජ් ඔබේසේකර, අධ්යක්ෂ ජනරාල් රොහාන් ජයතිලක, නියෝජ්‍ය තේ කොමසාරිස් ජානක විජේසිරි මහත්වරුද, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ ඇතුළු පිරිසක් මේ උත්සවයට සහභාගි වූහ.