Home » ශ්‍රී ලංකා-තායිලන්ත වෛද්‍ය සහයෝගිතාවෙන් නොමිලේ දණහිස් සැත්කම් 71ක්

ශ්‍රී ලංකා-තායිලන්ත වෛද්‍ය සහයෝගිතාවෙන් නොමිලේ දණහිස් සැත්කම් 71ක්

by mahesh
May 14, 2025 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෛද්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් නොමිලේ දණහිස් සැත්කම් 71ක් සිදුකිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ විකලාංග ප්‍රතිකාර සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් සුවිශේෂී මානුෂීය වෛද්‍ය මුලපිරීමකට සහාය දැක්වීමට විශේෂ බෞද්ධ අරමුදල් රැස් කිරීමේ උත්සවයක් තායිලන්තයේ දී පැවති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. තායිලන්තයේ ලුආන්ග් පෝර් ඉන්තාවතායි, ලුආන්ග් පෝර් සුතම් සහ ලුආන්ග් පෝර් අනිල්මන් යන බෞද්ධ භික්ෂූන්ගේ ආධ්‍යාත්මික අනුග්‍රහය යටතේ මේ උත්සවය පවත්වා තිබෙන අතර මේ අරමුදලට පූර්ණ සහාය ලබාදෙන බවට හිමිවරුන් පොරොන්දු වී තිබේ.

මේ ක්‍රියාදාමය තායිලන්තයේ සාර්ථක වෛද්‍ය ආකෘතිය මත පදනම්ව උසස් තත්ත්වයේ ප්‍රතිකාර ලබාදීමට ශ්‍රී ලාංකේය සගයන් සමඟ එක්ව කටයුතු කිරීමට සිරිරාජ් රෝහලේ තායි විකලාංග ශල්‍ය වෛද්‍යවරුන් සහ වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් එක් කරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි. තායි බෞද්ධ පූජකවරුන් විසින් ලබාදෙන ලද ත්‍යාගශීලී සහයෝගයට කෘතඥතාව පළ කරමින් සහ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ශක්තිමත් සංස්කෘතික හා මානුෂීය බැඳීම් නැවත තහවුරු කර ඇත. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ චාන්සරී ඒ.ඩබ්ලිව්.එස්. සමන්මලී, අමාත්‍ය උපදේශක (වාණිජ) විරේශිකා බණ්ඩාර මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව තිබේ.

මෙම ව්‍යාපෘතිය එළැඹෙන නොවැම්බර් 16 සිට 20 දක්වා කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලය සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන අතර, සම්පත් සීමාවන් හේතුවෙන් දීර්ඝ කාලයක් ශල්‍යකර්ම සඳහා රැඳීසිටින ශ්‍රී ලාංකේය රෝගීන් සඳහා නොමිලේ දණහිස් ආදේශන සැත්කම් 71ක් ලබාදීම මෙහි අරමුණ වී ඇත.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කොට වසර 70ක් සම්පූර්ණ කිරීම සහ තායිලන්තයේ මහා චක්‍රී සිරින්දෝර්න් කුමරියගේ 70 වන උපන්දින සංවත්සරය යන වැදගත් සිදුවීම් දෙක සනිටුහන් කිරීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කරයි. තායි බෞද්ධ පූජක පක්ෂය සහ සිරිරාජ් රෝහල විසින් ලබාදෙන ලද ත්‍යාගශීලී සහයෝගය සඳහා බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කෘතඥතාව පළකරයි. මෙම ව්‍යාපෘතිය අනුකම්පාව, සේවය සහ ථෙරවාද බෞද්ධ උරුමය යන බෙදාගත් වටිනාකම් මත පදනම් වූ, දෙරට අතර ගැඹුරු, මුල් බැසගත් ජනතාව අතර සබඳතා පිළිබිඹු කරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT