– අත්අඩංගුවට ගත් යතුරුපැදි 4ක් සැක සහිතයි
– සියලුම යතුරුපැදිවල සයිලන්සර් ඉවත් කර කොටස් බද්ධ කරලා
– පොලීසියෙන් දිගටම විමර්ශන
නීති විරෝධී අයුරින් කොටස් එකලස් කළ, රුපියල් කෝටි දෙකහාමාරකට අධික වටිනාකමක් ඇති යතුරුපැදි හතරක් ඇතුළුව යතුරුපැදි 16ක් සමඟ තරුණයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
වෙසක් සිරි නැරඹීමට යමින් සිටි මහජනයාට පීඩාවක් වන අයුරින් හා මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට අවහිර වන අයුරින් අධික ලෙස ශබ්ද නගමින් යතුරු පැදි ධාවනය කරමින් සිටියදී මෙම තරුණයන් පිරිස බණ්ඩාරගම නගරයේදී පෙරේදා (12) අත්අඩංගුවට ගෙන ඇත.
අධිබල යතුරුපැදි හතරේ ලියාපදිංචි අංක තහඩු පරීක්ෂා කිරීමේදී ඒවා සැකකටයුතු ඒවා බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම එක් යතුරුපැදියක් මෙයට මාස කීපයකට පෙර කටාන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 170000/= ක දඩ මුදලක් නියම වූ එකක් වෙයි. තවත් එක් යතුරුපැදියකට කැස්බෑව අධිකරණයේ නඩුවක් පවතින බවත්, තවත් එකක් යතුරු පැදියකට මාර්ගයේ ධාවනය කිරීමට තහනම් කර බැඳුම්කරයක් මත මුදා හැර තිබූ එකක් බව පොලීසිය කියයි.
අනෙක් යතුරුපැදි දෙකෙන් එකක් වෙනත් යතුරු පැදියක ලියාපදිංචි අංක තහඩුවක් සවිකර ධාවනය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිව්වැනි යතුරුපැදිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව පොලීසිය සඳහන් කරයි. පොලිස් භාරයට ගත් අනෙකුත් සියලුම යතුරුපැදිවල නියමිත සයිලන්සර් කොටස් ඉවත් කර මාර්ගයේ ධාවනය වීමේදී මාර්ගයේ ගමන් ගන්නා පදිකයන්ට බිය උපද්දවන සුළු හඬ පැතිරෙන වෙනත් කොටස් බද්ධ කර තිබූ බව සිදු කළ පරීක්ෂාවේදී දැකගත හැකි වූ බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් බොරලැස්ගමුව, කැස්බෑව, බණ්ඩාරගම, දොඩංගොඩ, කළුතර, හෝමාගම සහ ඉංගිරිය ආදී විවිධ ප්රදේශවල පදිංචිකරුවන්ය.
තරුණයන් පොලිස් ඇප මත මුදා හැරී බවත් ඉදිරි දිනයකදී පානදුර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිම්න ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (37199) සම්පත්, පොලිස් සැරයන් (61114) අතුල, පොලිස් කොස්තාපල් (83771) ප්රසාද් යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.