Home » බිරියගේ රන් මාලයේ උකස බේරාගෙන සැමියා හොර පොළකින් හොඳ හැටි බීලා

බිරියගේ රන් මාලයේ උකස බේරාගෙන සැමියා හොර පොළකින් හොඳ හැටි බීලා

අතරමගදී පහර දී මාලය උදුරාගෙන

by mahesh
May 14, 2025 1:00 am 0 comment

රක්වාන සමූහ - ඉන්දික සී. කුමාර

උකස් මධ්‍යස්ථානයක උකස් කර තිබූ සිය බිරියගේ රන්මාලය බේරාගෙන නි‍ෙවසට යමින් සිටි පුද්ගලයෙකුට මග හරස්කර පහරදී රුපියල් දෙලක්ෂ තිස්පන්දාහක් පමණ වටිනා රන්මාලය සොරා ගැනීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව රක්වාන පොලීසිය පවසයි.

මෙලෙස බන්ධනාගාරගත කර ඇත්තේ රක්වාන ඇලටන් වත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයන් තිදෙනෙකි.

පොලීසිය පවසන අන්දමට පොතුපිටිය කත්ලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිය බිරියගේ රන්මාලයක් රක්වාන ප්‍රදේශයේ උකස් භාණ්ඩ මධ්‍යස්ථානයකට උකස්කර තිබී ඇති අතර පසුගිය දිනයක රක්වානට පැමිණ එම මාලය මුදල් ගෙවා බේරගෙන මදුවිත පානය කිරීමේ අදහසින් ප්‍රදේශයේ තිබූ නීති විරෝධී තිප්පොළකට ගොස් හොඳ හැටි මදුවිත පානය කර ඇත.

ඒ අවස්ථාවේ බේරා ගත් රන මාලය ද පැලඳගෙන සිට ඇත. මදුවිත පානය කිරීමෙන් පසු නි‍ෙවසට යාමට සිටි මොහොතේ සැකකරුවන් තිදෙනා මොහු සමඟ ගැටුමක් ඇති කරගෙන රන්මාලය සොරාගෙන ඇත. සිද්ධිය සම්බන්ධව පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර පළවැනි සැකකරුගේ හිතවතියක් මඟින් රන්මාලය රුපියල් හැටදාහකට ප්‍රදේශයේ වෙනත් පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස්කර තිබී පසුව සොයාගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT