ඉන්දියාව සහ පාකිස්තානය අතර හටගත් යුද ගැටුම් හේතුවෙන් සතියකට අත්හිටුවන ලද ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය නැවත මේ මස 17 වන දින සිට ආරම්භ වන බවත් ජුනි 3 වන දින අවසන් තරගය පැවැත්වෙන බවත් ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
දින නියමයක් නොමැතිව කල් දැමූ පාකිස්තාන සුපර් ලීගයේ (PSL) පාඩුව මෙතෙක් ගණන් බලා නොමැති අතර, ඉන්දීය ප්‍රිමියර් ලීගයේ (IPL) ඉතිරි තරග ක්‍රීඩා නොකළහොත් ඉන්දීය රුපියල් කෝටි 2000ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6997ක්) පමණ අහිමි වනු ඇතැයි ගණන් බලා තිබේ. අයිපීඑල් තරගාවලියේ තවත් තරග 16ක් ඉතිරිව ඇති අතර, මෙම තරග නොපැවැත්වුවහොත්, රක්ෂණ වන්දි ලැබීමෙන් පසුව පවා, එක් තරගයකට ඉන්දීය රුපියල් කෝටි 100 සිට 125 දක්වා පාඩුවක් සිදුවනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
නව කාලසටහන අනුව අයිපීඑල් ඉතිරි තරග බැංගලෝර්, ජායිපූර්, දිල්ලි, ලක්නව්, මුම්බායි සහ අහමදාබාද් යන ක්‍රීඩාංගණ හයකදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලීග් තරග 13ක් සහ ප්ලේ ඕෆ් තරග 4ක් ඇතුළුව මුළු තරග 17ක් ඉතිරිව ඇති අතර, මැයි 8 වන දින අතරමග නතර කරන ලද පන්ජාබ් කිංග්ස් – දිල්ලි කැපිටල්ස් තරගය මැයි 24 වන දින ජායිපූර් හිදී නැවත සම්පූර්ණයෙන්ම පැවැත්වීමට තීරණය කොට තිබේ. මැයි 17දා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර තරගයෙන් යළි තරගාවලිය ආරම්භ වේ.
මේ අතර ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය යළි ආරම්භ වුවද ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ඉන්දියාවට පැමිණීම සැක සහිත බව වාර්තා වේ. ක්‍රිකට් ඔස්ට්‍රේලියා සඳහන් කරන්නේ එලෙස ඉන්දියාවට යෑමට අකමැති ක්‍රීඩකයින් වෙනුවෙන් ආයතනය පෙනී සිටින බවයි. යුද ගැටුම් හේතුවෙන් ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් බියට පත්ව ඇතත් පන්ජාබ් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු රිකී පොන්ටින් පමණක් නවදිල්ලියේ රැඳී සිටී.
මේ අතර, පාකිස්තාන සුපර් ලීගය යළි ලබන සෙනසුරාදා (17) ආරම්භ කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය. එහි අවසන් මහා තරගය මේ 25 වැනිදා පැවැත්වේ.