වසර 151ක කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන වෙස්ලි විදුහල 69 වැනි වරටත් පාසල් රග්බි තරගවාරයට එක්වි සිටී. සිව්වැනි වසරේ වර්ණලාභියකු වන සඳුල් ගම්මන්පිල මෙවර තරගවාරයේදී වෙස්ලි විදුහල් පළමුපෙළ රග්බි කණ්ඩායම මෙහෙයවනු ලබන අතර, තුන්වැනි වසරේ වර්ණලාභියකු වන අබ්දුල් හාදි උපනායකයා ලෙසත්, සිව්වැනි වසරේ වර්ණලාභියකු වන හාෂිම් තාබීත් නියෝජ්‍ය උපනායකයා ලෙසත් කටයුතු කරති.
වසර 1956දී එඩී බුවෙල්ගේ නායකත්වයෙන් පාසල් රග්බි ක්‍රීඩාවට අවතීර්ණ වූ වෙස්ලි විදුහලට මෙතෙක් ලීග් ශූරතාවක් දිනා ගැනීමට නොහැකි වුවද, 1997 දී සහ 2004 වසරවලදී ලීග් අනුශුරතාව දිනාගැනීමට සමත්වූ අතර, මේ දීර්ඝ කාලපරිච්ඡෙදය තුළ ලද විශිෂ්ටම ජයග්‍රහණය වන්නේ 2013 වසරේදී රාහුල් ද සිල්වාගේ නායකත්වයෙන් එවර ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ ශූරතාව දිනා ගැනීමය. ඊට අමතරව 2002, 2004 සහ 2019 දී එම තරගාවලියේ අනුශූරයන් බවට පත්වීමට ද වෙස්ලි විදුහල් පිල සමත්විය. මෙවර පාසල් රග්බි තරගවාරයට එක්වන වෙස්ලි විදුහල් පිල වෙනුවෙන් අනුග්‍රාහකත්ව පිරිනැමීමේ මාධ්‍ය හමුව පසුගියදා කැම්බල් පිටියේදී පැවැති අතර, එහිදී CDB බැංකුව ප්‍රධාන අනුග්‍රාහකත්වය පිරිනමනු ලැබීය. මීට අමතරව තවත් අනුග්‍රාහක සමාගම් රැසක් මෙවර වෙස්ලි විදුහල් රග්බි කණ්ඩායම ශක්තිමත් කිරීමට එක්වී සිටිති. ජාතික රග්බි පිල නියෝජනය කළ ආදි වෙස්ලි ක්‍රීඩකයකු වන හෙන්රි ටෙරන්ස් වෙස්ලි විදුහල් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, ජාතික සත් සාමාජික පිලේ හිටපු ක්‍රීඩක අම්ජාඩ් බක්ෂි, නිරංජන් වික්‍රමරත්න හා තිළිණ වීරසිංහ සහාය පුහුණුකරුවන් ලෙස එක්වී සිටිති. වෙස්ලි විදුහල් පිල මෙවර ලීග් තරගාවලියේදී විද්‍යා විද්‍යාලය සමඟ ජූනි මස 6 වැනිදා තරග වදින අතර, අනතුරුව ජූනි මස 13 දා ඩී.එස්. සේනානායක විදුහල් පිල සමඟ තරග බිමට පිවිසීමට නියමිතය.
අනතුරුව මහනුවර සාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ජූනි 21, සාන්ත පීතර විදුහලට එරෙහිව ජූනි 28 සහ ආනන්ද විදුහලට එරෙහිව ජූලි 5 වැනිදා තරග වැදීමට නියමිතය. ලීග් තරගාවලියේ දෙවැනි වටයේදී ඔවුන් කිංග්ස්වුඩ් කණ්ඩායම සමඟත්, සාන්ත තෝමස් කණ්ඩායම සමඟත් තරග බිමට පිවිසෙනු ඇත.