Home » දූෂණ හා පරිපාලන දුර්වලතා හේතුවෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය විසුරුවයි
භාණ්ඩාගාරික මූල්‍ය වාර්තා සඟවලා: ලේකම්ට පහරදුන් බවට පොලිස් පැමිණිල්ලක්

දූෂණ හා පරිපාලන දුර්වලතා හේතුවෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය විසුරුවයි

නව නිලධාරීන් තෝරා ගැනීමට පංච පුද්ගල කමිටුවක්

by mahesh
May 14, 2025 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

දූෂණ චෝදනා හා පරිපාලන දුර්වලතා හේතුවෙන් ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය විසුරුවා නව නිලධාරි මණ්ඩලයක් තෝරා පත්කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ මහා සභා රැස්වීම හා නිලවරණය පැවැත්වීම උදෙසා පංච පුද්ගල කමිටුවක් පත්කොට තිබේ.

එම පංච පුද්ගල කමිටුවේ සභාපති තනතුරට ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණන එම්.ටී.අයි.එස්. කරුණාරත්න මහතා පත්කොට ඇති අතර, කමිටු සාමාජිකයන් ලෙස ගණකාධිකාරී එම්.අයි. තිලකරත්න, සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ සිසිර වැල්ලෙගෙදර, සංවර්ධන නිලධාරී ආර්.පී. සූරියආරච්චි හා මූලස්ථාන ක්‍රීඩා නිලධාරී පාලිත වනිගරත්න යන මහත්වරු නම් කොට ඇත.

මෙයට මාස 2කට පමණ පෙර ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ මහා සභා රැස්වීම හා නිලවරණය පවත්වා නව නිලධාරි මණ්ඩලයක් පත්ව තිබියදී එම නිලවරණය නීත්‍යනුකූල නොවන බව පවසා හිටපු ලේකම්වරයෙක් ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලිකොට තිබිණි. ඒ පිළිබඳ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණයක් පවත්වා යළි මහා සභා රැස්වීම හා නිලවරණය පැවැත්විය යුතු බවට තීරණය කොට තිබේ.

මේ පංච පුද්ගල කමිටුව මඟින් ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ මහා සභා රැස්වීම හා නිලවරණය ක්‍රීඩා පනත හා නියෝග ප්‍රකාරව එම සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව සියලු අනුබද්ධ ක්‍රීඩා සංගම් දැනුම්වත් කොට නිසි ක්‍රමවේද අනුගමනය කරමින් සාධාරණ හා අපක්ෂපාතී ලෙස පැවැත්විය යුතු බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පංච පුද්ගල කමිටුවට දැනුම්දී තිබේ. එලෙස විධිමත් අයුරින් පවත්වා නිම කරන ලද ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නිලවරණ වාර්තාව හා නිලධාරි මණ්ඩලය පිළිබඳ තොරතුරු ඉක්මනින් දැනුම්දෙන ලෙස ද ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය තුළ පසුගිය කාලයේ අර්බුද රැසක් පැවති අතර, හිටපු භාණ්ඩාගාරිකවරයා විධායක සභා රැස්වීම් මඟ හරිමින් මූල්‍ය වාර්තා සඟවා සිටින බවට කොහුවල පොලීසිය වෙතට පැමිණිල්ලක් ද යොමුවී තිබිණි. එම හිටපු භාණ්ඩාගාරිකවරයා පසුගිය කාලයේ ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය පැවැත්වූ විධායක සභා රැස්වීම් දෙකකට පමණක් සහභාගිවී ඇති අතර, සම්මේලනයට ලැබුණු ආදායම් පිළිබඳ කිසිදු විස්තරයක් සාමාජික සංගම් වෙත ඉදිරිපත්කොට නැත.

මේ අතර ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකුට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් කොටුව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ පිළිබඳ විමර්ශනයක් ද සිදු‍වෙමින් පවතී. ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ ලියාපදිංචි දිස්ත්‍රික් සංගම් 24කින් මේ වන විට සංගම් 18ක් ක්‍රියාකාරී මට්ටමේ පවතින බවට කරුණු අනාවරණය වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT