නවකවදය යන්න ඉංග්‍රිසි භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ ‘රැගින්’ (Ragging) කියා ය. දකුණු ආසියානු සියලු ම රටවල් පාහේ මෙම ක්‍රියාකාරකම හඳුන්වනු ලබන්නේ ඉහත නමිනි. උතුරු ඇමෙරිකාව තුළ එය හඳුනාගනු ලබන්නේ හේසිං/බුලිං (Hazing/Bullying) කියා ය. ප්‍රංශයේ එය බිසුටේග් (Bizutage) ලෙසින් ද පෘතුගාලයේ ප්‍රැක්ස් (Praxe) ලෙස ද ස්වීඩනයේ නොල්නිං (Nollning) ලෙස ද ෆින්ලන්තයේ මොපෝකස්ටේ (Mopokaste) ලෙස ද සිංහල භාෂාවෙන් ‘නවකවදය’ ලෙස ද මේ ක්‍රියාකාරකම් හඳුනාගනු ලාබේ.
විවිධ භාෂාවලින් හැඳින්වුව ද මෙහි සාරය එකම ය. අරමුණු හා අපේක්ෂාවන් ද බොහෝවිට සමීප ය. දකුණු ආසියානු රටවල රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින නවකවදය නොහොත් රැගින් යන්නෙහි දැකිය හැකි සහ බටහිර නොදැකිය හැකි සාධකයක් ද තිබේ. දුප්පත් පවුල්වල සිසු සිසුවියන් උදෙසා ක්‍රියාත්මක වීම සහ ඇතැමුන්ගේ හීනමානය වැනි අවගුණාංගයන් පිරිමසා ගන්නට නවකවදය භාවිත කිරීම ය.
නවක වදය යන්න පිළිබඳ අපූර්ව නිර්වචනයක් වෛද්‍ය එස්.එම්.රත්නසිරි බණ්ඩාර ලියූ ‘නවකවදය සහ නවක සතුට’ ග්‍රන්ථයේ සඳහන් වේ. ඒ අනුව RAG යන්නෙහි පළමු අකුරු තුනෙන් කියැවෙන්නේ Royal Admission Game යන්න බව ය. බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය යටතේ එවක උසස් අධ්‍යාපනය ලැබීමට වරම් ලබා තිබුණේ රාජකීයයන්ට ය. එවක බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය හඳුන්වනු ලැබූයේ OX-bridge Model ලෙස ය. එනම් ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් සරසවිය ප්‍රධානකොටගෙන ව්‍යාප්ත වුණු උසස් අධ්‍යාපන ක්‍රමය යි. ශ්‍රී ලංකාවට යටත් විජිත සමයේ දී ලැබුණේ ද එහි ම ෆොටෝ කොපියකි.
විශ්වවිද්‍යාලයට උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත්වන නවක සිසු සිසුවියන්ට (ඔවුන් සියල්ලෝ ම රාජකීයයන් වූහ.) වැරහැලි ඇඳගෙන විශ්වවිද්‍යාලය අවට සිඟා කෑමට සිදු විය. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගේ සේවකයන් සේ කටයුතු කරන්නට සිදු විය. සතියක හෝ දෙකක කාලයකින් පසුව ඔවුන් විසින් එකතු කරනු ලැබූ ස්ටර්ලිං පවුම් ගණනට අනුව ජ්‍යෙෂ්ඨයන්ට සහ තම කණ්ඩායමට ඉහළ පෙළේ සාදයක් පවත්වනු ලැබේ. නවකවද සමය එයින් නිමා වේ. ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ආරම්භයත් සමඟ ම ‘නවකවදය’ ද අපේ වාග් කෝෂයට එකතු විය. බැලූ බැල්මට අපේ විශ්වවිද්‍යාල තුළ මේ වනවිට දක්නට ලැබෙන්නේ RAGනොව PAG (Poor Admission Game) ය. අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වනනේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් උසස් අධ්‍යාපන අවස්ථා උදා කරගන්නා දුප්පතුන්ගේ දරුවන් බැවිනි.
නවකයන් තුළ කණ්ඩායම් හැඟීම්, දරා ගැනීම, පෞරුෂ සංවර්ධනය, සහයෝගීතාව ආදී ගුණාංග සුරක්ෂා කරලනු පිණිස ලෝකයේ සෑම හමුදාවක ම පාහේ මෙවැනි ක්‍රියාවලියක් දක්නට ලැබේ. ඇතැම් ක්‍රීඩා කණ්ඩායම්, ක්‍රීඩා සමාජ මෙන් ම අපරාධ කල්ලි ද මෙම ක්‍රියාවලියට නවකයන් භාජනය කරන බව පර්යේෂණවලින් ම සනාථ වී තිබේ. ඒ ඒ රටවල සමාජ, ආර්ථික, දේශපාලන මෙන් ම සංස්කෘතික විපර්යාසයන්ට අනෙකුත් සියලු කාරණාවලට සේ ම ‘නවකවදයට’ ද මුහුණ දෙන්නට සිදු වේ. ඉන් අනතුරු ව එම රටවල සරසවි, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ආයතන තුළ නවකවදයේ මුහුණුවර සකස් වී තිබේ.
නවකවදයේ මූලාරම්භය ලෙස මහාචාර්ය චන්ද්‍රිකා ජයසිංහ සිය ‘උසස් අධ්‍යාපන ආයතනයන්හි සිදුවන නවක වදය’ ග්රන්ථයෙහි පෙන්වා දී තිබෙන්නේ “කණ්ඩායම් ඒකමුතුව හා ජීවය පවත්වා ගැනීම උදෙසා ක්‍රීඩා සමාජයට අලුතින් එකතු වන්නන් විවිධාකාර වූ සමච්චලයන්ට හා අවමන් කිරීම්වලට බඳුන් කළ බව ආදි ග්‍රීක සමාජයේ ප්‍රකට ය” වශයෙනි. ඇයට අනුව ‘මෙම ක්‍රමවේදය පුද්ගලයා තනි පුද්ගලයෙකු ලෙස අසාර්ථක කර කණ්ඩායමක් ලෙස සාර්ථකභාවය ඇති කිරීම සඳහා භාවිත විය. කල්යත් ම මූලික අරමුණු හා ප්රයෝජනවලින් බැහැර වී නවකවදය අමානුෂීය සහ අවදානම් මුහුණුවරක් ලබා ගනී.’
ඒ අනුව පළමු ලෝක යුද්ධයෙන් පසුව නවකවදය අති විශාල පරිණාමයට බඳුන් වෙමින් ඊට භයංකර පැතිකඩක් ආරෝපණය වූ බවත් යුද්ධය අවසන් ව පැමිණි සොල්දාදුවන් විද්‍යාල වෙත නැවත පැමිණීම නිසාත් අමානුෂීය සහ අවදානම් මුහුණුවරක් නවකවදයට ලැබී ඇත.
අහමර් එට් අල් (Ahmer et al) විසින් පකිස්ථානයේ වෛද්‍ය විද්‍යාල 06ක් ඇසුරෙන් සිදු කරනු ලැබූ පර්යේෂණයකට අනුව 52%ක් එරට වෛද්‍ය විද්‍යාලවල නවක වදයට ලක්වෙන ශිෂ්‍ය ප්‍රතිශතය 52%කී. 2002 වසරේ ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය පීඨ සිසුන් ආශ්රිත ව කරන ලද පර්යේෂණයකට අනුව 50%ක් පමණ නවක වදයට ලක් වී තිබේ. බ්‍රසීලයේ කාස්ටල්ඩෙල්ලි මායියා එටල් Castaldelli Maia කරන ලද පර්යේෂණයකට අනුව එරට නවක වදයට ලක් වූ සිසුන්ගෙන් 15%ක් මානසික අවපීඩනයට ලක්වේ. 2024 මැයි මස 14වන දින Education Times – India වෙබ් අඩවියට ලිපියක් සපයමින් ම අශීෂ් ශ්‍රීවාස්තව සහ නීරවු ශ්‍රීවාස්තව යන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු දෙදෙනාගේ අධ්‍යයනයට අනුව “ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවල අනුරූපිතා සතිය තුළ නවකවදය උපරිමයෙන් ක්‍රියාත්මක වෙන බවත් අමෙරිකාවේ මෙන් ම ඕස්ට්‍රේලියාවේත් නවකයන්ට ප්‍රමාණයට වඩා මත්පැන් බීමට සැළැස්වීම, ඔවුන්ගේ ප්‍රතික්‍රියා නිරීක්ෂණය සහා හාස්‍යයට ලක් කිරීම ආදී ක්‍රියාවන් සිදුවන බවත් කියැවෙයි. එමෙන් ම මේ සෑම රටක් ම පාහේ අපරාධ නීතිය යටතේ නවක වදය තහනම් කර තිබෙන” බව ඔවුහු පෙන්වා දෙති.
නවකවදය හා සම්බන්ධ පළමු මරණය 1873 වර්ෂයේ කෝනෙල් (Cornell) විශ්වවිද්‍යාලයේ නවකවදයට ලක්වෙමින් සිටිය දී සිසුවෙකු පටු දුර්ගයකට වැටී මිය යාම ලෙස සටහන් වේ. මේ වනවිටත් නවක වදය නිසා ලොව පුරා සිසු ජීවිත දහස් ගණනක් අහිමි වී ඇති අතර ශ්‍රී ලංකාවේ ද සිසු ජීවිත කිහිපයක් ම බිලි වූ බවත් සමහරකු සදාකාලික ආබාදිත තත්ත්වයට පත්ව ඇති බවත් නොරහසකි.
නවකවදය වළක්වාලීමේ විශ්වවිද්‍යාල පනත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් පනවා තිබේ. ඒ අනුව 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත මේ වනවිට ද ක්‍රියාත්මක ය. සාපරාධී බය ගැන්වීම, අඩස්සියට ගැනීම, අයුතු අවහිර කිරීම, ලිංගික අතවර, බරපතළ තුවාල සිදු කිරීම ආදී අපාරාධ පිළිබඳ එහි මූලික ව සඳහන් වී ඇත. අතිශයින් බලවත් ලෙස සකසා තිබෙන ඉහත පනතට අනුව නම් නීත්‍යනුකූල ව නවකවදය ලබාදෙන අපරාධකරුවාට පහසුවෙන් ගැළවී යා නොහැකි ය. මේ පරිද්දෙන් ම ලෝකයේ ද එම නීතිය අපරාධ නීතිය යටතේ විභාග කෙරෙන ලෙස සකසා තිබේ.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල තවමත් පවතින්නේ එදා බ්‍රිතාන්‍යයන් මුල් කාලීන ව හඳුන්වා දුන් යල් පැන ගිය සහ මෙරට සමාජ ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික කෝවන් හරහා පැමිණි නවකවදය යි. ලොව හොඳ ම අධ්‍යාපනයක් සහිත රටක් ලෙස සලකන ෆින්ලන්තයේ පවා නවකවදයට ලක්වන සරසවි සිසුන් ප්‍රමාණය 5%ක් බව පර්යේෂණ මඟින් තහවුරු කරයි. හිංදුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය 2009 වසරේ ලන්ඩන්වල සිටින සිය වාර්තාකරුවකුගේ වාර්තාවකු උපුටා දක්වමින් පෙන්වා දී තිබුණේ නවකවද කාලයේ තවමත් සිසුන්ට පණ පිටින් ගෝල්ඩ් ෆිෂ් මාලුවෙකු ගිලින්නට සැළැස්වීම, අමු දැල්ලෙක් ගිලින්නට සැළැස්විම සහ ලුණු මාළු බෙල්ල වටේ දැමීම සිදු කොට තිබෙන බව ය.
නවකවදය ආරම්භ කළ බටහිර රටවල් අද වනවිට නවක වදය නොඑසේ නම් ‘නවක නම්නීකරණ’ වැඩසටහන සම්පතක් බවට පත්කොටගෙන ඇති බැව් පැහැදිලි ය. සතියක් හෝ දෙකක් පුරාවට නවක සිසුන්ගේ හැකියාවන්, දක්ෂතාවන් මෙන් ම අන්තර් පුද්ගල සම්බන්ධතා, කණ්ඩායම් හැඟීම වර්ධනය, පෞරුෂ සංවර්ධනය ආදී ක්‍රියාවන් සඳහා වේදිකාවක් නිර්මාණය කර දී සරසවි පරිපාලනයේ මැදිහත්වීමෙන් සාදයක් ද පවත්වා ‘රැග් සීසන්’ එක කෙළවර කිරීම අදාළ බුද්ධිමය ප්‍රජාවට ද අතිශයින් ගැළපෙන්නකි. මේ පිළිබඳ බලය ලත් ආයතන මෙන් ම ඊට අනුබද්ධිත විශ්වවිද්‍යාල මඟින් ද මේ පිළිබඳ පර්යේෂණ උනන්දු කරවිම සිදු වන්නේ දැ යි සැකයකි. එය අන් කවරදාටත් වඩා අදට වටී.
ගයාන් පීරිස්