Friday, May 16, 2025
Home » ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය සංවිධාන නියෝජිතයින් සමඟ ජනමාධ්‍ය ඇමැති විශේෂ සාකච්ඡාවක

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය සංවිධාන නියෝජිතයින් සමඟ ජනමාධ්‍ය ඇමැති විශේෂ සාකච්ඡාවක

by chanaka
May 15, 2025 6:19 pm 0 comment

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් එම ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේම ඉල්ලීම පරිදි පිහිටුවීමට යෝජිත වරලත් ආයතනයක් ස්ථාපිත කිරී‍මේ මුලික කටයුතු සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 25 ක් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සංවිධාන 21 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණී.

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම ප්‍රමුඛ වන බැවින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන් ම එම ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේ ඉදිරි අභිවෘද්ධිය මුලික අරමුණ කරගනිමින් මෙම සාකච්ඡාව පැවැති අතර, ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් වරලත් ආයතනයක් පිහිටුවීම යන ප්‍රධාන කරුණු දෙක කෙරෙහි මෙහි දී මුලික අවධානය යොමු කරන කරන ලදි.

මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදා කර දීම හා වෘත්තීයට වටිනාකමක් එක් කරදීමේ අරමුණින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ම පෙන්වා දී තිබූ අතර, එමෙන්ම එවන් ආයතනයක් ස්ථාපිත කර දෙන ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ ම නිරත පිරිස් අවස්ථා ගණනාවකදී ම ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. එ් අනුව අවශ්‍ය සැලසුම් හා ඊට අදාළ ඉදිරි පියවරයන් වත්මන් රජය මේ වනවිට ගනිමින් සිටින බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන ලද අතර, එහි මූලික කටයුතු ආරම්භ කිරීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 25 ක මුදලක් වෙන් කර ඇති බව මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය රජයන් කිහිපයක් ම මෙවන් වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට උත්සහ ගෙන තිබුණ ද මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ සියලු සංවිධාන වලින් නිසි පරිදි අදහස් ලබාගැනීමකින් තොරව කටයුතු කිරීම සහ විවිධ අඩුපාඩු රාශියක් සහිත ව එම කාර්ය සිදු කිරීමට යාමෙන් එය මේ දක්වා සාර්ථක වී නොමැති බවත්, මූලාරම්භයේ සිට මෙම කාර්යය නැවත ආරම්භ කළහොත් දීර්ඝ කාලයක් යළි ගතවන බැවින් දැනට පවතින තත්ත්වයේ සිට එය ඉදිරියට ගෙනයාම ජනමාධ්‍ය අමාත්‍යංශයේ අපේක්ෂාව බව ද මෙහි දී අමාත්‍යවරයා පැවසී ය. ඉහත ප්‍රායෝගික වැඩපිළිවෙළ තුළින් මෙරට මාධ්‍ය වෘත්තියේ නිරතවන්නන් ට සිය වෘත්තියට වටිනාකමක් ලබාදීම මෙන් ම පරිපූර්ණ ජනමාධ්‍යවේදීන් දැයට දායාද කිරීමේ හැකියාව ලැබෙන බව ද සියලු දෙනාගේ ම සහයෝගය හිමි වන්නේ නම් එම කාර්ය කඩිනමින් සාර්ථකත්වයට පත්කර ගත හැකිවනු ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

මෙම සියලු කාර්යයන් ක්‍රියාත්මක කරනු ලබන්නේ මාධ්‍යයට බලපෑම් කිරීමට හෝ සීමා, වාරණ පැනවීමට නොව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ අභිවෘද්ධිය සඳහා පමණක් ම වන බව මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා මෙය සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ ද එකඟතාවය අනුව පමණක් සිදු කරන බව ද පැවසී ය.

මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා කර්තෘ සංසඳය, විද්‍යුත් විකාශකයින්ගේ සංගමය, ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ආසියානු මාධ්‍ය සහ සංස්කෘතික සංගමය, ශ්‍රී ලංකා පරිසර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මාධ්‍ය පැමිණිලි කොමිසම, ජාතික මාධ්‍ය පදනම, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍ය සන්ධානය, මුස්ලිම් මාධ්‍ය සන්ධානය, ජාත්‍යන්තර මාධ්‍ය ක්‍රියාකාරීත්වය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා පත්‍ර කලාවේදීන්ගේ සංගමය, දකුණු ආසියානු මාධ්‍යවේදීන්ගේ සංගමය වශයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සංවිධාන 21 ක නියෝජිතයෝ සහභාගි වූහ.

මෙහිදී මාධ්‍ය ආයතන නියෝජිතයින් ඇතුළු මාධ්‍යවේදීන් විවිධ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලද අතර, මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම, රජයේ මාධ්‍ය හැදුනුම්පත, මාධ්‍ය භාවිතාවන්, රජය මාධ්‍යවේදීන්ට සලසන පහසුකම්, ජනමාධ්‍යවේදීන්ට වෘත්තීය පුහුණුවීම් ලබාදීම, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය මට්ටම නගාසිටුවීම හා වෘත්තීය ආරක්ෂාව, පහසුකම් හා ඉඩ ප්‍රස්ථාවන් සැපයීම, මාධ්‍ය ක්ෂේත්‍රය අරඹයා රජය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන පියවරයන් සහ මුහුණදෙන ගැටළු ආදී කරුණූ රාශියක් පිළිබඳව ද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT