“අප ි වේලාසනින් අවදි වුණෙමු.
එහෙත් අපි වේලාසනින් අවදි වූ පමණින් වේලාසනින් හිරු පායන්නේ නැත.
කවදා හෝ දිනෙක හිරු පායද්දී වේලාසනින් අවදි වී සිටීම අපට ප්‍රයෝජනවත්ව තිබෙනු ඇත”
යනුවෙන් ලියුවේ රෝහණ විජේවීර ය.
ඒ මීට බොහෝ කලකට පෙර ය. ඔහු විසින් බිහිකරන ලද ජනතා විමුක්ති පෙරමුණට වසර හැටක් සපිරෙන මේ මොහොතේ එම වදන්වල වලංගුභාවය තවදුරටත් සනාථ වේ.
වසර හැටක් යනු පුද්ගල ජීවිතයක නම් ඉතාමත් දීර්ඝ කාලපරිච්ඡේදයකි. එමෙන්ම සමාජ ව්‍යාපාරයකටත් වසර හැටක් සම්පූර්ණ වීම යනු ඉතාමත් සුවිශේෂී කාලපරිච්ඡේදයකි. මැයි 14 වැනිදාට ජනතා විමුක්ති පෙරමුණට වසර හැටක් සම්පූර්ණ වී තිබුණි. දශක හයක් තිස්සේ වාමාංශික දේශපාලනික ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද සමාජ බලපෑම කවරේදැයි ඉතා ගැඹුරින් විග්‍රහ කර බැලීම අත්‍යවශ්‍ය කරුණක්ව ඇත.
1965 මැයි මස 14 දින කුඩා පිරිසකගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු ජනතා විමුක්ති පෙරමුණේ එක් පරිච්ඡේදයක් 1971 අප්‍රේල් අරගලයෙන් පසු නිමා විය. වඩා යහපත් සමාජ වෙනසක් පිළිබඳව පරමාර්ථ පෙරදැරිව ඇරඹි එම ව්‍යාපාරයට 71 අප්‍රේල් අරගලයේදී තරුණ ජීවිත දස දහසකට වඩා වැඩි ප්‍රමාණයක් පූජා කරන්නට සිදු වූහ. පුද්ගලයකුට ලැබෙන ඉහළම වටිනාම වස්තුව වන තම ජීවිතය පොදු අරමුණක් වෙනුවෙන් කැප කළ හැකි බව සමාජයට නිහඬවම කියා දෙමින් එසේ තරුණ පරපුර ජීවිත පූජා කොට තිබුණි.
71 අප්‍රේල් මහ නඩුවේ විත්තිකරුවනට චෝදනා ගොනුකොට තිබුණේ බ්‍රිතාන්‍ය මහරැජනගේ ආණ්ඩුව කුමන්ත්රණයකින් පෙරළා දැමීමට කටයුතු කිරීමට එරෙහිවයි. 1948දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබුවා නම්, 1971දී මහරැජනගේ ආණ්ඩුවක් පවතින්නේ කවර හේතුවක් මතදැයි එකී තරුණ පරම්පරාව ප්‍රශ්න කළහ. එපමණක් නොව ඒ පිළිබඳව පැවති නඩුව විභාගයේදී හා අත්අඩංගුවට ගැනීම්වලදී ඇතැම් පිරිස් පාවාදීම්වලින් අරගල හමාර කළහ.
1977න් පසු නව ජවයකින් ගමන් ඇරඹි ජවිපෙ පැවති පාලක පන්තිය විසින් 1983 දී තහනමට ලක්කිරීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ඉතිහාසයේ තවත් එක් පරිච්ඡේදයක් හමාර විය. එය සිදු වූයේ ධනේශ්වර දේශපාලනික පන්තියේ සංවිධානාත්මක කුප්‍රකට කුමන්ත්‍රණ හේතුවෙනි.
පැවති පාලක පන්තිය ප්රජාතන්ත්රවාදී දේශපාලනික ප්රවාහයේ ඉඩ අහිමි කිරීමෙන් අනතුරුව 1983 සිට රහසිගත දේශපාලනයකට යොමු වූ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළේය. වැඩබිම්වල, විශ්වවිද්‍යාල පද්ධතියෙහි මෙන්ම කම්හල් තුළ, මඟතොටේ දේශපාලනික ක්‍රියාකාරකම්වල නිරත වෙමින් අභියෝග හා දුෂ්කරතා මැද වෙනස් සමාජ දේශපාලනයක් සමාජගත කිරීමට කටයුතු කළේය.
කාල් මාක්ස්ගේ ඉගැන්වීම් සහ ලෙනින්ගේ ප්‍රායෝගික දේශපාලනය ගරු කොට ගනිමින් ශ්‍රී ලාංකේය සමාජ දේශපාලනයේ අලුත් හැඩතලයක් නිර්මාණය කරදීමට ජවිපෙ සමත් විය.
“ මව්බිම නැති නම් මරණය” යනුවෙන් වූ සටන් පාඨයක් ඔස්සේ පක්ෂය හා පන්තිය සංවිධානය කරමින් පන්ති දේශපාලනය කළ ජවිපෙට 1989දී දරුණු මර්දනයකට මුහුණ දෙන්නට සිදු විය. එහි වන්දිය ගෙවූයේ තරුණ ජීවිත ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකට ජීවිත පූජා කිරීමට සිදුවීමෙනි.
1994 සිට යළිත් ප්රජාතන්ත්රවාදී ප්‍රසිද්ධ දේශපාලනික ප්රවාහයට පැමිණි ජනතා විමුක්ති පෙරමුණ ස්වකීය දේශපාලනයේ තවත් පරිච්ඡේදයක් සනිටුහන් කළේය.දේශපාලනික න්‍යාය හා භාවිතය, උපක්රමික දේශපාලනය යන සියල්ල තුළ මැතිවරණ දේශපාලන මාවත තෝරාගත් ජනතා විමුක්ති පෙරමුණ ඉන් වසර තිහකට පසු රටේ පාලන බලය ලබාගැනීමට තරම් සංවිධානාත්මක විය.
1965 පරම්පරාව සීමිත පිරිසක් සංවිධානාත්මකව කරන ලද අරගලය ඉන් පරම්පරා හතරකට පමණ පසු දශක හයක් ඉක්මවා ගිය තැන ජයග්‍රහණයේ කොඩිය වඩාත් ඉහළින්ම සනිටුහන් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සමත්ව තිබේ. වඩාත් සුවිශේෂිතම කාරණය එයයි.
ගෙවුණු දශක හය පුරා පැමිණි මාවත දුෂ්කර සහ කටුක වන අතර එය අමිහිරි අත්දැකීම්වලින් ද පිරුණු එකකි. නම නොදත් බොහෝ පන්ති සගයන්ගේ විප්ලවීය කැපකිරීමේ අවසාන තර්කානුකූල ප්‍රතිඵලය ලෙස පන්තියට බලය ලබා ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට සමත්ව තිබේ.
දැන් ජනතා විමුක්ති පෙරමුණ පැමිණ සිටින්නේ එහි තීරණාත්මක කඩඉමටයි. බලය ලබාගැනීමේ දුෂ්කර අරගලය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව බලය පවත්වා ගැනීම සහ නිර්ධන පාන්තික අරගලය දිනා ගැනීම එහි තීරණාත්මක සාධකය වේ. දැන් එළඹ ඇත්තේ ඒ සඳහා ප්‍රායෝගික තලයේ වැඩ කිරීමේ කාලපරාසයයි.
ඉතිහාසය යනු සිදුවීම් ජාලයක එකතුවකි. වර්තමානය යනු අනාගතයේ ඉතිහාසය නිර්මාණය කරන ක්‍රියාකාරකම් සමූහයක එකතුවකි. එම නිසා ඉතිහාසය යනු ලියා අවසන් කළ නොහැකි යමකි. අතීත අත්දැකීම් ඔස්සේ ලියා අවසන් කළ නොහැකි ඉතිහාසය සඳහා වඩාත් තර්කානුකූල සහ හෘද සාක්ෂියේ බැඳීම් සහිත කරුණු එකතු කිරීම වර්තමානයේ වගකීමයි. එම නිසා ලියවුණු ඉතිහාසයට වඩා ලියවීමට නියමිත ඉතිහාසය වඩාත් ප්රගතිශීලී සහ සාධාරණ ආකාරයෙන් ලියා තැබීමට උදව් කිරීම වර්තමානයේ වගකීම වන්නේය.
පරම්පරා දෙකක තාරුණ්‍යයේ රුධිරයෙන් තෙත් වූ මේ ශ්‍රී ලාංකේය මව්බිම වඩාත් නිදහස් හා සාධාරණ එකක් බවට පත්කරලීම සඳහා සමාජ පරමාදර්ශයෙන් යුතුව කටයුතු කිරීම වර්තමානයේ තීරණාත්මක වගකීම වනු ඇත.
“යුක්ති ගරුක මිනිසෙක්
නිදහස් සමාජයක්
නිවහල් දේශයක්”
යනුවෙන් වූ සමාජ ආමන්ත්‍රණයේ ප්‍රායෝගිකත්වයේ සීමාවට අප පැමිණ තිබේ.
වර්තමානයේ ලබා ඇති කිසියම් වූ සමාජ ජයග්‍රහණයක් වෙත් නම් ඒ සියල්ල සඳහා 1965 සිට මේ දක්වා විවිධ කැපකිරීම් කරන ලද, ජීවිත පූජා කරන ලද, දේපළ අහිමි කරගන්නා ලද, අධ්‍යාපනය අහිමි කරගන්නා ලද දන්නා නොදන්නා සියලු දෙනාගේ විවිධ මට්ටමේ කැපකිරීම් හේතුසාධක වූ බව සඳහන් කළ යුතුව ඇත.
එකී නම නොදන්නා ධෛර්යයසම්පන්න මිනිසුන්ගේ උත්තුංග අරමුණු වෙනුවෙන් ගරු කිරීම වර්තමානයේ පැහැර හැරිය නොහැකි සමාජ වගකීමක් වෙයි.
නම නොදන්නා ඔවුන්ගේ නාමය ඉදිරියේ හිස නැමිය යුතුව ඇත. එවන් වූ මිනිසුන් වෙනුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියා නන්දා මාලනියන් ගැයූ මෙම ගීත කොටස ගෞරවයක් ලෙස යළි සටහන් කොට තබමු.
“ පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී, ගුගුරා දෙස් දේවි..”
ගෙවුණු දශක හය පුරා උත්තුංග සමාජ පරමාර්ථ උදෙසා ජීවිත පූජාවෙන් කැප කෙරුණු නාඳුනන මිනිස් ප්‍රජාව ඉදිරියේ යළිදු වරක් හිස නමමු.