ඇය වෘත්තියෙන් බැංකු කළමනාකාරිනියකි. මේ වන විට ඇය මහජන බැංකුවේ කෑගල්ල ප්‍රධාන කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනිය වශයෙන් සේවය කරන්නීය. වෘත්තිය ඒකාකාරී බවින් හෙම්බත් වූ විටෙක ඕ මඳකට ඉන් මිදී සාහිත්‍යය ලේඛනයට අත තබන්නීය. එවන් අවස්ථාවලදී නිර්මාණය වූ ඇගේ මේ ලියවිල්ල අවසන නවකතාවක්ම විය. ‘පද්ම රාගය’ නම් වන මේ නවකතාව ලේඛිකා කුමාරි දයානන්දගේ ප්‍රථම නවකතාවයි. ‘පද්ම රාගය’ ගැන ලේඛිකා කුමාරි දයානන්ද සමඟ කළ කතාබහ මෙසේ දිග හරිමු.
මේ ග්රන්ථයට ඔබ ‘පද්ම රාගය’ ලෙසින් නම යොදන්නේ ඇයි ?
ඒකට හේතුවක් තියෙනවා. පද්මරාග සාපේක්ෂව දුර්ලභයි. කොහොමත් කොයි මැණිකත් පොළොව හාරා වෙහෙසවී සොයාගත යුතුයි. මඩ ආවරණ ඉවත් කර හඳුනාගත යුතුයි. නිසි දැනුමක් නැති අයෙකුට මැණිකක් හඳුනාගන්න බැහැ.
මේ කතාවේ සත්‍යය හා සාධාරණත්වය සොයන ගැහැනියක් ඉන්නවා. සත්‍යයත් හරියට පද්මරාගය වගේමයි. සොයාගැනීම දුෂ්කරයි. අතිශය දුර්ලභයි. අපි ජීවත් වෙන්නෙ බොරුව නැමැති සාටෝපයෙන් වැසුණු ජරාජීර්ණ වුණු සමාජයකයි. ඒ සමාජයේ රැඳෙමින් සත්‍ය සොයන අපි ඉතාම අසරණ ජීවීන් කොට්ඨාසයක් නොවේද? සත්‍යය අපට හමුවීත්, මඟහැරීත් නැතිව ඇතිද ? හරියට මඩෙන් වැසුණු පද්මරාගයක් වගේ සත්‍යය අපට හමුවුවත් මඟ හැරෙන අවස්ථා අපමණයි. අපි දකින්නේ ඉතා අලංකාර පිරිවැසුම්වලින් ආවරණිත බොරුවම නොවේද ? මේ සියල්ල හේතු කරගෙන තමයි ‘පද්ම රාගය’ ලෙසින් නම යෙදුවෙ.
‘පද්ම රාගයේ’ සොයන සත්‍යය ඔබට සමීප වෙන්නේ කොහොමද ?
මම ඉගෙන ගත්තේ රත්නපුරේ. ඒ වගේම ජීවිතයේ වැඩි කොටසක් ගෙවුණෙත් රත්නපුරේ. එක්තරා කාලෙක මට මගේ වෘත්තීය උසස් වීමක් ලැබිලා යන්න වුණෙත් රත්නපුරේටයි. එහිදී මට මගේ පරණ මතක ගොන්න අවදි වෙනවා.
රත්නපුරේ මැණික් කර්මාන්තය ගත්තාම, ඒ වෙනුවෙන්ම ශ්‍රමය මහන්සිය කැප කරන මිනිස්සුන්ට නෙවෙයි එහි ප්‍රතිලාභය ලැබෙන්නේ. එය මම අත්දුටුව සත්‍යයක්. ඒ නිසා මේක සත්‍ය සොයා යන ගමනක්. මැණික් කර්මාන්තයේදී තවත් විශේෂිත වූ සිදුවීමක් තියෙනවා. මෙහිදී කුඩා ඛණිජ ද්‍රව්‍යයකට විශාල වටිනාකමක් ලැබෙනවා. ඒ නිසාම මෙහිදී සොරකම සිදු වෙනවා. මාස ගණන්, සති ගණන්, අවුරුදු ගණන් මහන්සි වෙන මිනිස්සු විශාල දුකක් විඳිනවා. මේ දුක සහ පීඩනයත් එක්ක මිනිස්සු සොරකම් කරනවා. නමුත් එහෙම කරලත් දුක සේ හමුවුණු මැණිකට නියම වටිනාකමක් ලැබෙන්නෙත් නෑ. ඉතින් මේ සැබෑ ගමන අවසානයේදී හමුවෙන්නෙ සත්‍යය ද අසත්‍යය ද යන්න තීරණය කිරීම පාඨකයින්ට භාරයි.
මෙය හරියට සත්‍යය පසුබිම්කොට ගෙන ලියවුණු ලියවිල්ලක් වගෙයි..?
මේක සත්‍යය කතාවක් වටා බැඳුණු එකක් නෙවෙයි. නමුත් මෙහි ඇතුළත් සෑම සිද්ධියක්ම සත්‍යය කතා රාශියක එකතුවක්. කොහේහරි මැණික් සොරකමක් සිදු වෙලා තියෙනවා. ඒ වගේ මීට සම්බන්ධව මීනී මැරුමකුත් සිදු වෙලා තියෙනවා. 88, 89 කාලච්ඡේදයේදී අපේ රටේ සිදුවුණු භීෂණය, මාධ්‍ය හැසිරවීම, දේශපාලන ක්‍රියාකාරකම් මේවා මේ සමාජයේ සිදුවුණු දේවල්. මෙවැනි සිදුවීම්වල එකතුවක් වශයෙන් මේ පොත හඳුන්වන්න පුළුවන්.
‘පද්ම රාගය’ ලියන්න පෙර ඔබ සිදු කළ පර්යේෂණාත්මක තොරතුරු කෙසේද?
මම පාසලේ හය වෙනි ශ්‍රේණියේ ඉඳලා උසස් පෙළ දක්වාම රත්නපුරේයි ඉගෙන ගත්තේ. ඒ වගේම 2018 වසරේ ඉඳන් වසර තුනක් රැකියාව රත්නපුරයේ සිට කරන විටත් මට එහි සමාජමය වටාපිටාව, මැණික් කර්මාන්තය ආශ්‍රිත සිදුවීම් යනාදිය ගැන වැටහීමක් ඇති වුණා. ඒ කාලේ පටන්ම මම බොහෝ තැන්වල ඇවිද්දා. පතල් සම්බන්ධ විස්තර කරලා තියෙන ස්ථානවලට මම ගියා. ඒ වගේම පොලොන්නරුවෙත් බොහෝ තැන්වල ඇවිද්දා. පොලොන්නරුව ලංකාපුර ගමේ බොහෝ දෙනෙක් හමු වුණා. ඒ අයත් සමඟ කතා බහ කළා. ඔවුන්ගේ ජීවන රටාව, ජීවන රිද්මය, ජීවන අත්දැකීම් මේ සියල්ල ගැන මට දැනගන්න පුළුවන් වුණා. මගේ වෘත්තීය සගයෙක් වෙන සමීර දිල්ෂාන් බොහෝ සේ මට උදව් කළා. ඒ වගේම මගේ සැමියා සහ පුතාත් උදව් කළා. ඒවා මට මහමෙරක් වගෙයි. මේ ආකාරයට මම අවුරුදු හතරහමාරක් විශේෂයෙන්ම තොරතුරු හොයන්න කාලය ගත කළා. ඊටම මම මගේ අතීත මතකයනුත් ඈඳුවා.
මේ වන විට ඔබ ලබන පාඨක ප්‍රතිචාර ගැන කුමක් කිව හැකිද ?
මේ වන විට මට පාඨක ප්‍රතිචාර උපරිමයි. මගේ මුහුණු පොතේ 43,000ක පාඨක සංඛ්‍යාවක් ඉන්නවා. මේ අය පොත අරගෙන මට පිළිතුරු සපයනවා. හැබැයි, මේ වෙනකම් මට කතා කරලා තියෙන්නේ, කාන්තා පාර්ශ්වය පමණයි. පාඨකයන්ගේ ප්‍රතිචාර දැක්කාම මට හරිම සතුටුයි. පාඨක ප්‍රතිචාර කොතරම්දැයි කියනවා නම්, මා ලැබූ උත්තේජනයෙන් දෙවැනි පොතත් ලියලා ඉවරයි. ‘සාහසිකත්වයට එරෙහිව කැරලි ගැසූ ගැහැනියක්’ ලෙසින් නම් කරලා තියෙන නිසාද කොහෙද, කාන්තාවන්ගේ ප්‍රතිචාර වැඩියෙන් ලැබෙනවා. නමුත් මේ අය කිසි කෙනෙක් මම පුද්ගලිකව හඳුනන්නේ නැහැ.
පද්ම රාගය වෙනුවෙන් ඔබ යෙදූ භාෂාමය උපක්‍රම ගැන සෑහීමකට පත්විය හැකිද ?
රත්නපුරයේ මැණික් නිසාම විශේෂිත වූ උප සංස්කෘතියක් තියෙනවා. ඊට අදාළ වචන මම මෙහි යොදලා තියෙනවා. ඉල්ලම, මාලාව, නාම්බුව කියන වචන ඉන් සමහරක්. ඉල්ලම කියන්නේ මැණික් තියෙන පසටයි. ඉල්ලම කපාගෙන පහළට යනකොට මාලාව මතුවෙනවා. මැණික් තියෙන්නේ මාලාවෙන් උඩයි. මාලාවේ පැහැය අනුව, කුමන මැණික් වර්ගය තියෙනවාදැයි කියන්න ඇතමුන්ට පුළුවන්. නාම්බුව කියන්නේ ඉල්ලම ගොඩ දාලා සෝදලා, අවසානයට ගන්න එකටයි. නාම්බුව බලනවා කියන්නේ අවසානයට තේරුණු මැණික් පරීක්ෂාවයි. මේ ආදිය ආකාරයේ උප සංස්කෘතික වචන සේම, මගේ කතාවට ගලා යන ආකාරයට යෙදූ භාෂාවේ උපක්‍රම මෙහි මම ඇතුළත් කළා.
පොත් සම්බන්ධ සම්මාන උලෙළ ගැන ඔබට යම් අදහසක් තිබේද ?
මම වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ පාඨක සම්මානයයි. වෙනත් සම්මානවලට වඩා මට වටින්නේ ඒ සම්මානයයි. මට දැන් ඒ සම්මානය ලැබිලා ඉවරයි. ලැබෙන පාඨක ප්‍රතිචාර අනුව මට හිතෙනවා, දෙවැනි මුද්‍රණයටත් යයි කියලා. මම පොත ලිව්වේ සම්මාන බලාගෙන නෙවෙයි. ඒ වුණත් විවිධ සම්මාන උලෙළ, විවිධ ආයතන සහ රාජ්‍ය මැදිහත් වීමෙන් හෝ සිදු කරන ග්‍රන්ථ ඇගැයීම්වලින් ලේඛකයන් කිසියම් උත්තේජනයක් ලබනවා.
ශ්‍යාමා සමරසිංහ