Thursday, May 15, 2025
Home » මහා­ප්‍රාණ නැති කතා පොතක්!

මහා­ප්‍රාණ නැති කතා පොතක්!

by Gayan Abeykoon
May 15, 2025 1:04 am 0 comment

සමන් අතා­වු­ද­හෙ­ට්ටි

සිය පාණ්ඩි­ත්‍යය ප්‍රකාශ කිරීම සඳහා අර්ථ-විව­රණ, විශ්ලේ­ෂණ, පඬි වදන් ඉදි­රි­පත් කරන්නා සභා ඉදි­රියේ සිය නොහැ­කි­යාව ප්‍රද­ර්ශ­නය කරයි. පාඨක – ශ්‍රාවක ප්‍රජාව උත්ස­ව­ව­ලට සහ­භා­ගි­වන්නේ සැහැ­ල්ලු­වෙන් යුතුව  යමක් වින්ද­නය කිරී­ම­ටය. ඒ අනුව කතාව රස­යෙන් හැඩ­යෙන් මෙන්ම සියුම් අර්ථ­යෙන් ද පරි­පූර්ණ විය යුතුය.

අද අපගේ විම­සු­මට ලක්වන්නේ සමන් අතා­වු­ද­හෙ­ට්ටිගේ සරල – සුගම කෘති­යකි. එය නව­ක­තා­වක් හෝ කෙටි­කතා සංග්‍ර­හ­යක් හෝ  නොවේ. චරි­තා­ප­දා­න­යක් හෝ පරි­ව­ර්තිත කෘති­යක් හෝ නොවේ. පොත හඳුන්වා ඇත්තේ සමන් කියයි – 2 යනු­වෙන්ය. මේ සමූ­හයේ පළමු කාණ්ඩය සමන් කියයි – 1 ලෙසින් පළ වී ඇතත්; එය කියැ­වීමේ අව­ස්ථාව අපට ලැබී නැත. අංක – 2 කියවා හමාර කළ සැණෙන් මගේ සිත කියා සිටියේ,  සමන් කියයි – 1 කෙසේ හෝ සප­යා­ගෙන කියැ­විය යුතු බව ය. සමන් කියයි – 2 වින්ද­නීය ගුණ­යෙන් යුතුය. ජීවිත පරි­ඥා­න­යෙන් සම­න්වි­තය. අපේ කලාව, සංස්කෘ­තිය හා සමා­ජ­යීය ජීවි­තය විම­සන කෙන­කුට අධ්‍ය­ය­නය කළ යුතු කෘති­යක් හැටි­යට ද එය හඳුන්වා දෙන්නට කැමැ­ත්තෙමි.

සමන් විසින් සමාජ නාය­ක­යන් දස දෙනකු කේන්ද්‍ර­කොට සුවි­ශේෂී උත්සව අව­ස්ථා­වල දී පව­ත්වන ලද මුඛ්‍ය දේශන දහ­යක් එම කෘති­යට ඇතු­ළත් කර තිබේ.  එම චරිත දහ­යම කැපී පෙනෙන සමාජ කාර්ය­යන්හි යෙදුණු සමාජ සංකේත ලෙස හඳුන්වා දිය හැකිය. එකී චරිත පිළි­බඳ අප නොදන්නා කරුණු සාධක සේම අදාළ විෂය ක්ෂේත්‍ර­යන්හි තත්කා­ලීන ප්‍රව­ණතා ද සමන්ගේ විශේ­ෂා­ව­ධා­න­යට ලක් වී ඇත. සෑම කතා­ව­කම චරි­ත­යට අදාළ සුවි­ශේෂී සිදු­වී­මක් දෙකක් ගැන ද සඳ­හන් ය. චරිත අධ්‍ය­ය­න­යට මෙන්ම විවිධ විෂ­ය­යන් අධ්‍ය­ය­න­යට ද මේ කෘතිය උප­යෝගී කර­ගත හැකිය. ඒ හැරෙ­න්නට  සමන් භාවිත කරන ශිල්පීය උපාය මාර්ග දේශ­ක­යන්ට සේම ලේඛ­ක­යන්ට ද ඉතා වැද­ගත්ය.

විවිධ කථි­ක­යන් විසින් පව­ත්වන ලද කතා, යළි මුද්‍රිත මාධ්‍යය ඔස්සේ පොත් හැටි­යට සමා­ජ­ගත කිරීම එක්තරා මෝස්ත­ර­යකි. විශේ­ෂ­යෙන් දේශ­පා­ල­ක­යන් විසින් මේ කට­යුත්ත කර­ගෙන යනු ලැබේ. පාර්ලි­මේන්තු කතා පවා පොත්ව­ලට  සංගෘ­හිත කරනු දැක­ගත හැකිය. විවිධ අර­මුණු – ඉල­ක්ක­යට පෙර­ටු­කොට එබඳු පොත් පළ කරන්නේ වුව පාඨක ආක­ර්ෂ­ණය දිනා­ගත් ජන­ප්‍රිය පොතක් පළ වන්නේ කලා­තු­රෙ­කින්ය. බොහො­ම­යක් පොත් නිකම්ම කඩ­දාසි ගොඩ­වල් පමණි. එසේ නොවී සමා­ජයේ කතා­බ­හට ලක් වූ හා අද­ටත් උත්සාහ කර­ගනු ලබන පොත් කිහි­ප­යක්  මා සිහි­යට නැ‍ඟේ. ඒවා සිහි­පත් කරන්නේ පර­මා­ද­ර්ශ­යක් හැටි­ය­ටය.

(I) ඉන්දි­යාවේ හිටපු අග­මැති රජීව් ගාන්ධි මහ­තාගේ කතා ඇතු­ළත් – රජීව්ගේ කතා සංග්‍ර­හය

(II) යක්ක­ඩුවේ ප්‍රඥා­රාම හිමි­යන්ගේ විශ්ව­වි­ද්‍යාල දේශන ඇතු­ළත් විදු­ල­කර සඟ­රාවේ විශේෂ අංකය

(III) පල­ස්තීන අර්බු­දය සම්බ­න්ධ­යෙන් ඉම්ති­යාස් බාකීර් මාකාර් මහතා පාර්ලි­මේ­න්තු­වේදී සිදු කළ විශේෂ කතා ඇතු­ළත් පොත

(IV) මිලින්ද මොර­ගොඩ මහතා විශේෂ උත්සව අව­ස්ථා­ව­ලදී හා පාර්ලි­මේ­න්තුවේ විශේෂ අව­ස්ථා­ව­ලදී සිදු කළ වැද­ගත් කතා සංග්‍ර­හ­කොට මුද්‍ර­ණ­යෙන් එළි­දක්වා ඇති සංග්‍රහ දෙක

මීට අම­ත­රව තවත් වැද­ගත් කතා පොත් තිබෙ­න්නට පුළු­වන.

මා ඉහ­තින් සඳ­හන් කළේ ම’විසින් අද­ටත් භාවිත කරනු ලබන වැද­ගත් කෘති හත­රක් පමණි.

ඉන්දීය දේශ­පා­ල­නයේ  ජාතික ප්‍රති­ප­ත්තිය, රාජ්‍ය පාල­නයේ ගැටලු, විදේ­ශීය සබ­ඳතා පම­ණක් නොව; රාජ්‍ය­තා­න්ත්‍රි­ක­යකු වශ­යෙන් රජීව් ගාන්ධි  කැරි­ස්මාව ගැන ද වැට­හී­මක් ලබා­ගැ­නී­මට ඉහත කෘතිය යොදා­ගත හැකි ය. රජීව් ගාන්ධි අග­මැ­ති­ව­රයා භග­වත් ගීතාව උපුටා දක්ව­මින් ඇතැම් ගැටලු විග්‍රහ කරන අයුරු පොතෙන් පැහැ­දිලි වෙයි.  රජීව් ගාන්ධි අග­මැ­ති­ව­රයා භග­වත් ගීතාව ගැන පම­ණක් නොව; ප්‍රංශයේ මහා ලේඛ­ක­යකු වූ ඇල්බෙයා කැමූ ගැන ද වරෙක සඳ­හන් කරයි. දේශ­පා­ල­ක­යන් සාහි­ත්‍යය ගැන කිය­වා­ගන්නා ආකා­රය විම­ර්ශ­නය කරන කල අමු­ත්තක් දැනෙයි. එය අපගේ කුහුල වඩන සංසි­ද්ධි­යකි.

What man kind needs today is ancient book, said and  i Quote;

Breathe on us fearlessness

Heaven and  Earth……..

(රජීව් කතා පිටුව 83)

යක්ක­ඩුවේ ප්‍රඥා­රාම හිමි­යන්ගේ දේශ­න­ව­ලට මුල් වූයේ සංස්කෘත රස­වා­ද­යයි. විචා­රක සිරි­මාන්න රස­වා­දය සම්බ­න්ධ­යෙන් සිදු කරන ලද විවේ­ච­න­යක් පාද­ක­කොට එම දේශන මාලාව පවත්වා ඇත්තේ කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යීය සිංහල විශේ­ෂ­වේදී ශිෂ්‍ය පිරි­සක උදෙ­සාය. මහා­චාර්ය දෙගැ­ම්වැද සුම­න­ජෝති හිමි­යන් පසුව පෙන්වා දී ඇත්තේ සිංහ­ලෙන් රස­වා­දය පිළි­බඳ රචනා වී ඇති හොඳම පැහැ­දිලි කිරීම එය බවය.

පල­ස්තීන අර්බු­දය හැඳි­න්විය හැක්කේ ලෝක ඛේද­වා­ච­කය ලෙසය. එය අප ජීව­ත්වන වත්මන් ලෝකයේ ප්‍රධාන ගැට­ලුව මෙන්ම ගෝලීය දේශ­පා­ලන අර්බු­දය සංකේ­ත­වත් කරන ප්‍රමුඛ සිද්ධිය ද වන්නේය. ඒ සම්බ­න්ධ­යෙන් නිර­න්ත­ර­යෙන්ම පෙනී සිටින හා කතා කරන ඉම්ති­යාස් මහ­තාගේ ‘පල­ස්තී­නය’ නම් කෘතිය ගැට­ලුව වටහා ගැනී­මට අදාළ හුරු­බු­හුටි ග්‍රන්ථ­යක් සේ සැලැ­කිය හැකිය.  පල­ස්තීන අර්බු­දය විසඳා ගැනීම සඳහා මෙතෙක්  ගෙන ඇති විස­ඳුම් ක්‍රියා­මාර්ග සේම ඒවා අසා­ර්ථක වීමට හේතු – සාධක ද කතු­ව­ර­යාගේ අව­ධා­න­යට ලක්වෙයි.  දේශ­පා­ලන වාසි අපේ­ක්ෂා­වෙන් පල­ස්තීන ඛේද­වා­ච­කය යට­ග­සන හා අම­තක කරන අරාබි ලෝක­යට වුව ඉම්ති­යාස් බාකීර්  මාකාර්ගේ ප්‍රය­ත්නය ගැන ආපසු හැරී බල­න්නට සිදු වනු ඇත.

සමන්ගේ පොත දේශ­පා­ල­න­යට ඍජු සම්බ­න්ධ­තා­වක් දක්වන්නේ නැත. එය ස්පර්ශ කර ඇත්තේ රටේ කලාව, සංස්කෘ­තිය හා සමාජ ජීවි­තය යැයි කිව හැකිය. මේ ක්ෂේත්‍ර දෙකට අයත් ශ්‍රී ලංකාවේ දැවැන්ත චරිත දහ­යක් පාද­ක­කොට සමන් දක්වන නැවුම් අද­හස් හා ආකල්ප අප කාගේත් සිත් අම­න්දා­න­න්ද­යට පත් කරයි. සෑම චරි­ත­යක් ගැනම පරි­පූර්ණ වැට­හී­මක් සමන්ට ඇත. එමෙන්ම එම චරි­ත­වල අප නොදුටු ගුණා-ගුණ ද හෙතෙම රස කර දක්වයි.

උත්ස­ව­යන්හි මුඛ්‍ය දේශ­නය පැවැ­ත්වීම පම­ණක් නොව; එබඳු අව­ස්ථා­වන්හි මූලා­ස­නය ගෙන කට­යුතු කිරී­මත් බර­ප­තළ වග­කී­මකි. පාණ්ඩි­ත්‍යය, බහු­ශ්‍රැ­ත­භා­වය, බලය හා පරි­ණ­ත­කම් තිබූ පම­ණින් ම එම කට­යුතු සාර්ථක කර­ගැ­නීම අමා­රුය. ඇතැම් විට හූ සංග්‍ර­හ­ය­කින් සියල්ල වෙනස් වන්නට පුළු­වන. ගුටි පූජා­ව­කින් උත්ස­වය නිමා වන්නට ද පුළු­වන. එබඳු ඛේද­වා­චක අප දැක තිබේ. මෙබඳු අවස්ථා ජය­ගත හැක්කේ දැනුම හා උපාය මාර්ග යොදා ගනි­මින් නිර්මා­ණ­ශීලි ලෙස  කරුණු ඉදි­රි­පත් කිරී­මෙන් බව කිය­න්නට කැමැ­ත්තෙමි. පොතේ පෙර­ව­ද­නෙහි ලා කතු­ව­රයා ලියා තබන සට­හ­නක් කෙරෙහි පාඨක අව­ධා­නය යොමු කර­ව­න්නට කැමැ­ත්තෙමි.

“හදිසි ම අව­ස්ථා­වක දී හැර මා දේශ­න­යක් භාර ගන්නේ ඊට සූදා­නම් වීමට මාස­යක තර­ම්වත් කාල­යක් ඇත්නම් පමණි.  මන්ද? ඒ සඳහා කරුණු රැස් කිරී­මට විම­සුම් හා පර්යේ­ෂණ කිරී­මට කාලය අවශ්‍ය බැවිනි. එසේ ම මම කලින් සකස් කර­ගත් පිට­ප­තක් නැතිව කිසි­වි­ටෙක දේශන නොප­ව­ත්වමි. මේ නිසා මට ලබා දුන් කාලය නොව­ර­දවා රස නො නැසුණු දේශ­න­යක් ඉදි­රි­පත් කිරී­මට අව­කා­ශය සල­සයි.”

(පෙර­ව­දන – පිටුව – 07)

සමන් සිය කාර්යය සඳහා කෙබඳු කැප­වී­මක් කරන්නේ ද යන්න ඉහත උද්ධෘ­ත­යෙන් පැහැ­දිලි වෙයි. වේදි­කා­ව­කට නැඟ මොනවා හෝ විකා­ර­යක් දෙඩ­වී­මට වඩා පරෙ­ස්ස­මෙන් හා වග­වී­මෙන් ඉටු කළ යුතු කාර්ය­භා­ර­යක් දේශ­කයා ඉදි­රියේ ඇති බව සමන් අපට සිහි­පත් කරයි.

මීට වසර ගණ­නා­ව­කට පෙර මහ­ග­ම­සේ­කර අනු­ස්ම­රණ උත්ස­ව­යක් හා සාහිත්‍ය ත්‍යාග උලෙ­ළක් රදා­වාන මහ පන්සලේ  දී පැවැ­ත්විණි.  එහි මූලා­ස­නය ගෙන සිටියේ රටේ නම­ගිය මහා­චා­ර්ය­ව­ර­යෙකි. ඔහු සභාව මෙහෙයැ වූ අතර, සෑම කෘති­යක ම හඳුන්වා දීම ද සිදු කළේය. දේශ­න­ය­කින් පසු ඒ ගැන සමා­ලෝ­ච­න­යක් ද කළේය. එය හර­බර විග්‍ර­හ­ව­ලින් යුතුය. වැඩි වේලා­වක් යන්නට පෙර තරුණ පිරිස විවිධ ශබ්ද නිකුත් කර­න්නට වූහ. තවත් ටික වේලා­ව­කින් ඔවුහු සභාව අත­හැර ඉවත ගියහ. වැඩි­හිටි පිරිස ද සභා­වෙන් ඉවත් වන්නට පටන් ගත්හ. මේ අතර සංවි­ධා­යක මණ්ඩ­ල­යට දොස් පැවැ­රිණි. මූලා­ස­නයේ කතා නීරස වූ අතර, ඒවා විශ්ව­වි­ද්‍යාල දේශ­න­ව­ලට සමාන විය.  උත්ස­වය නිමා වන්නට පෙර ශාලාව එහෙම පිටින්ම හිස් විය.  ත්‍යාග­ලා­භියෝ පවා සභාව අත්හ­ළහ. සංවි­ධා­යක මණ්ඩ­ලය අන්තිම අස­රණ වූ අතර මහා­චා­ර්ය­ව­ර­යාගේ හර­බර කතා හිස් බණ­ම­ඩුව පුරා දෝංකාර දෙන්නට විය. සංවි­ධා­යක මණ්ඩ­ලය තම තෝරා­ගැ­නීම ගැන කන­ගාටු වුව කළ හැකි ප්‍රති­ක­ර්ම­යක් නොවීය.

සමන් වැනි කෙනකු උත්ස­වයේ මූලා­ස­නය භාර ගත්ත ද, පූරක ලෙස කට­යුතු කළ ද, ප්‍රධාන දේශ­නය පව­ත්වන්නා ලෙස ක්‍රියා කළ ද මෙවැනි අල­ක­ලං­චි­යක් සිදු වන්නේ නැත. ඒ බව බොහෝ දෙනෙක් දනිති. මේ කෘතිය දෙස බලන විට ද ඔහුගේ දේශ­න­වල අත්දැ­කීම් සිහි­පත් කරන විට ද විශේ­ෂතා හත­රක් ඉස්මතු වෙයි.

(I) අනු­ක­ර­ණ­යක් නැත. ඔහු තමන්ගේ ම ක්‍රම­ය­කට කතාව ගොතයි. එහි හැඩය, ගැඹුර, මෝස්ත­රය ඔහුම තනා ගනී. සෑම අව­ස්ථා­ව­කම තම­න්ගේම මෝස්ත­ර­යක් ගොඩ­නැ­ඟී­මට සමන් උත්සාහ දරයි.

(II) ඔහු රහ­සක් රකී. කුතු­හ­ල­යක් ඉතිරි කරයි. විශේෂ  රිද්ම­යක් පව­ත්වා­ගෙන යයි. හඬ පාල­නය කරයි. සහෘද ආක­ර්ෂ­ණය දිනා ගනියි.

(III) චරිත අධ්‍ය­ය­නයේ දී එම චරි­ත­වල විශේ­ෂ­තා­වක් මතු­ක­රයි. අහ­ම්බ­ය­කින් මෙන් කතාව ආරම්භ කරයි.

(IV) වැද­ගත්ම කාර­ණය වන්නේ මහා­ප්‍රාණ නැති­කම ය. ගැඹුරු විශ්ලේ­ෂණ, අර්ථ විව­රණ සංඛ්‍යා දත්ත කිසි­වක් භාවිත නොක­රයි. සරල – සුගම – සුන්දර  කතා­වක් ඉදි­රි­පත් කරයි. කිසි­වකු අප­හ­සු­වට පත් නොක­රයි.

පොත් දොරට වැඩුම ඇතුළු සාහිත්‍ය උත්ස­ව­වල දී හඬ පාල­නය සහි­තව මනා ලෙස සභාවේ ආක­ර්ෂ­ණය දිනා ගනු ලබන උග­තුන් දෙදෙ­නකු  මා සිහි­යට නැඟේ. ඒ මහා­චාර්ය කාලෝ ෆොන්සේකා හා මහා­චාර්ය සුනන්ද මහේන්ද්‍ර යන දෙදෙ­නාය. සුනන්ද මහේ­න්ද්‍ර­යන් විශ්ව­වි­ද්‍යාල දේශන පැවැ­ත්වීමේ දී ද ඒ ක්‍රමය අනු­ග­ම­නය කරයි.

මේ කෘතියේ පළමු අංකය වන්නේ ප්‍රේම­සර ඈපා­සිංහ පිළි­බඳ මුඛ්‍ය දේශ­න­යයි. එම කතාව ආරම්භ කරන්නේ ළම­යකු පාස­ල­කට ඇතු­ළත් කිරී­මට අදා­ළව පියකු සකස් කරන කූට ලේඛ­න­යක් සිහි­පත් කර­මින්ය. එය මේ දේශ­න­යට අමුතු රස­යක් එකතු කරන අතර, පාඨක අව­ධා­නය යොමු­වන්නේ ඈපා­සිංහ ඉදි­රි­පත් කළ ක්‍රිකට් විස්තර – විචා­ර­යන් කෙරෙහි ය. එහෙත් ප්‍රේම­සර ඈපා­සිංහ දක්ෂ පත්ත­ර­කා­ර­යකු බවත් දක්ෂ ගුරු­ව­ර­යකු බවත් සමන් කියයි. ඈපා­සිංහ පිළි­බඳ අමුතු රහස මතු කරන්නේ කතාව මැද දී ය.

“වැට රකිනා ඈපා­සිංහ – ගීතා­වට තමයි ආලේ

ඉඳි­කටු තුඩින් ගියත් – ඔහුගෙ අතින් නොයයි බෝලේ

මෙතන යම් පැහැ­දිලි කිරී­මක් කරන්න ඕනෑ. විශේ­ෂ­යෙන්ම මේ සභාවේ ඈපා­සිංහ මැති­නිය – ස්වර්ණත් ඉන්න නිසා.

මේ කවියේ කිය­නවා වැට රකිනා ඈපා­සිංහ ගීතා­වට තමයි ආලෙ කියලා. කරු අයියා එහෙම ලිව්වෙ සංගී­ත­යට, ගීත­යට ඒ කාලෙ ඉඳ­ලම කැමැති නිසා.  එහෙම නැතිව ගීතා කියල ගෑනු ළම­යෙක් ඉලක්ක කර­ගෙන නෙමෙයි. (ස්වරය හා රිද්මය වෙනස් කරයි.  අපි එහෙම හිතමු!…(පිටුව – 14)

හරි අපූ­රුය. සෑම කතා­වක ම මෙබඳු අවස්ථා නිරූ­පණ ඇත. ජැක්සන්ගේ දේශ­නය ආරම්භ කරන්නේ ‘කන්ද උඩ ගින්දර’ ඔහුගේ නව­ක­තා­වෙන් ය. ආර්.ආර්. සම­ර­කෝන්ගේ කතාව පටන් ගන්නේ ඩිංගිරි අම්මා කියල නාට්‍ය­ය­කින් ය. තිල­ක­රත්න කුරු­විට බණ්ඩා­රගේ දේශ­නය ආරම්භ කරන්නේ පරණ කවි­ය­කින් ය. ඔහු සිය කතාව පුරාම ආක­ර්ෂ­ණය යන ගුණය පවත්වා ගනී.

සමන්ගේ කතා අහ­ගෙන ඉන්න පුළු­වන්. කිය­ව­ගෙන යන්නත් පුළු­වන්. ඒ පෙළ­ගැස්ම ඇතුළෙ ඉගෙ­න­ගත යුතු බොහෝ දේවල් ද ඇත.

රන්ජන් අම­ර­රත්න

 

මැයි මස 08දා දින­මිණ 30 පිටුවේ විචාර කවු­ළු­වේදී අන්වර් සදාත් සහ නසාර් යන දෙදෙනා එක් අයෙක් ලෙසට හැඟ­වෙන පරිදි සඳ­හන්ව ඇත. නමුත් එය අන්වර් සදාත් සහ නසාර් යනු දෙදෙ­නෙක් ලෙසින් නිවැ­රදි විය යුතුය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT