පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ විපක්ෂය සතුටින් සිටියද එහි සතුටු විය හැකි කිසිදු පදනමක් නැතැයි ද පළාත් පාලන මැතිවරණවල ස්වභාවය තුළ සාමාන්‍යයෙන් ලැබෙන්නේ මෙවැනි ප්‍රතිඵලයක් බව ද ජාතික ජන බලවේග ආණ්ඩුව කෙරෙහි තිබෙන පුළුල් ජනතා විශ්වාසය තවමත් පවතින බව ද විපක්ෂයට ආණ්ඩු බලය අවශ්‍ය නම් සෙමෙන් සහ සැලසුම්සහගතව වැඩ කළ යුතු බව ද හිටපු ඇමැති එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි. ඒ ඇතුළු කාලීන දේශපාලනික කරුණු පිළිබඳ ඔහු සමඟ සිදු කළ සංවාදයකි මේ.
පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂය ඉදිරියට පැමිණි බවට එම පක්ෂ සඳහන් කරනවා, තවදුරටත් ඔවුන් විස්තර කරන්නේ බැලූ බැල්මට ආණ්ඩුව රට පුරා කොට්ඨාස මට්ටමෙන් සියයට අසූව ඉක්මවන ජයග්‍රහණයක් ලැබුවත් ඡන්ද ප්‍රතිශතය අනුව සහ සමගාමී ලැයිස්තුව සමඟ සැලකිය යුතු සභා ප්‍රමාණයක ආණ්ඩුවට බහුතරය අහිමිව තිබෙන බවයි, මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
පළාත් පාලන මැතිවරණයක ප්‍රතිඵලයක් අරන් ඒක ජාතික දේශපාලනය සමඟ සසඳන්න උත්සාහ කිරීම නිවැරැදි දෙයක් නොවෙයි. ආණ්ඩුව රට පුරා කොට්ඨාස අතිබහුතරයක් දිනාගෙන තිබෙනවා. පසුගිය මහමැතිවරණයේදී පොදුජන පෙරමුණ හේදිලා ගියා. ඒ තත්ත්වය තුළ ඔවුන් මෙවර සියයට නවය දක්වා වැඩි වුණා. එම පක්ෂය මේ ප්‍රතිඵලය තමයි උත්කර්ෂයට නඟන්න උත්සාහ කරන්නේ. ඒත් ඒ ප්‍රතිඵලය අලුත් දෙයක් නොවෙයි. එදා පොදුජන පෙරමුණ සමඟ වැඩ කළ සැලකිය යුතු පිරිසක් පසුව රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වුණා. මේ වෙද්දි ඒ අය යළිත් රනිල්ගෙන් ඉවත් වෙලා පොහොට්ටුව දිශාවට යොමු වෙමින් සිටිනවා. එහෙම නැතිව පොහොට්ටුවට අලුත් ඡන්ද ප්‍රමාණයක් ආවාය කියන තක්සේරුව වැරැදියි. ඒ අයට තවදුරටත් ගමන් කළ හැක්කේ එක්තරා සීමාවකට පමණයි.
අනෙක, 2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණයේදී තිබුණේ වෙනත් තත්ත්වයක්නේ. 2005 වර්ෂයේ සිට 2015 දක්වා තිබුණු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ යුද්ධය ජයග්‍රහණය සමඟම ආර්ථිකයේ වර්ධනයකුත් තිබුණා. ඒ වගේම, 2015 දී යහපාලන ආණ්ඩුවට ජනතාව රට භාර දෙන විට මෙරට ආර්ථික වර්ධන වේගය සියයට හතේ සීමාව ද ඉක්මවා ගොස් තිබුණා. ඒත් යහපාලන කාලය තුළ ආර්ථික වර්ධනය ඉතාමත් පහළ තැනකට වැටුණා. ඒ තත්ත්වය තුළ යහපාලන ආණ්ඩුව ජනතා අප්‍රසාදයටත් පත්වුණා. ඒ අතර තමයි එදා පළාත්පාලන මැතිවරණය පැවැත්වුණේ. ඉතින්, එදා අතිවිශේෂ තත්ත්වයක් තිබුණේ.
මේ තත්ත්වය තුළ තමයි එදා ආණ්ඩු මාරු කරන මැතිවරණයක් විදිහට 2018 පළාත් පාලන මැතිවරණය ඡන්ද දායකයා තේරුම් ගත්තේ. ඒ නිසා තමයි එදා සියයට හැත්තෑව ඉක්මවූ පිරිසක් ඡන්ද පොළට ගියේ. එහෙත් මෙවර පළාත් පාලන මැතිවරණය තුළ ආණ්ඩු පෙරළීමේ අදහසක් ජනතාව තුළ තිබුණේ නැහැනේ.
ඒත් විපක්ෂය කියන්නේ ආණ්ඩුවට මේ ඡන්ද ප්‍රතිඵලයෙන් පණිවුඩයක් ලැබිලා කියලායි…?
ඒත්, මේ ප්‍රතිඵලයෙන් විපක්ෂයට නැඟීමක් ඇතිවෙලා කියලා පෙනෙන්නේ නැහැ. ආණ්ඩුවට එක් ආයතනයකින් නියෝජිතයො විස්සක් පත්වෙද්දි අනෙක් පක්ෂ නියෝජිතයෝ හතර පහ පත්වීම විපක්ෂයේ ජයග්‍රහණයක් වෙන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ඇත්තෙන්ම, ආණ්ඩුව තමයි මේ මැතිවරණයේ ජයග්‍රාහකයා. ඒත් ඔවුන් ඉදිරිය ගැන මීට වඩා කල්පනාකාරී වෙන්න ඕනෑ. සමගි ජන බලවේගයේ ඡන්ද පදනම ලොකුවට පුළුල් වෙලා නැහැ. පොහොට්ටුව එක්තරා මට්ටමකට ඇවිත් හිරවෙනවා. ඒ වාතාවරණය තුළ ඉදිරි දේශපාලන තත්ත්වය දෙස බැලූ විට, තවමත් ස්ථාවර තත්ත්වයක සිටින්නේ ජාතික ජන බලවේගය පමණයි.
පොහොට්ටුවට දකුණට බර සජබ සහ එජාප ඡන්ද දිනාගන්න බැහැ. ඔවුන්ට ඡන්ද ඇද ගැනීමට පුළුවන්කම තිබෙන්නේ මාලිමාවේ ඡන්ද පදනමෙන් පමණයි. ඒත් පොහොට්ටුවට මාලිමාව වෙත ඇදුණු ඡන්ද දිනා ගැනීම ඉතාමත් දුෂ්කරයි.
ඡන්ද දායකයන්ට මතකයි, පොහොට්ටුව රට බංකොලොත් කළ ආකාරය. ඒ අය බලයේ සිටියදී වැඩ කළ විදිය. ඒ නිසා මාලිමාව වෙත ගමන් කළ වමට බර ඡන්ද පොහොට්ටුව වෙත නැවත දිනා ගැනීම අපහසුයි.
1994 වසරේදී චන්ද්‍රිකා මහත්මිය සියයට හැට දෙකක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. 1997 වර්ෂයේ පළාත් පාලන මැතිවරණයේදී ඇය නායකත්වය දැරූ පොදු පෙරමුණ ලබා ගත්තේ සියයට පනහකට කිට්ටු ඡන්ද ප්‍රමාණයක්. එදා ඡන්ද ප්‍රතිඵලය සහ අද ප්‍රතිඵලය අතර සමානකමක් ඔබ දකිනවාද?
ඒ මැතිවරණ ප්‍රතිඵලය සහ අද මැතිවරණ ප්‍රතිඵලය එකිනෙකට සසඳන්න බැහැ, කොහොමටත් ජාතික මැතිවරණයක් සහ පළාත් පාලන මැතිවරණයක් එකිනෙකට සසඳීමට උත්සාහ කිරීමම නොවැදගත් දෙයක්. ඒ යුගයේදී කිසිදු හේතුවක් නැතිව රටේ ආර්ථිකය ඍණ අගයක් වෙත තල්ලු කිරීම චන්ද්‍රිකා මහත්මියගේ පාලනය තුළ සිදු වුණා. ඩී.එස්. සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස යුගවල ආර්ථිකය ඍණ වුණේ නැහැ. මුලින්ම ආර්ථිකය ඍණ වුණේ චන්ද්‍රිකා යුගයේදීයි. එදා අපි මේ වැඩ හරි විදිහට කරන ක්‍රමය ගැන ඇයට පෙන්වා දුන්නත් ඒ අවවාද ඇය පිළිගත්තේ නැහැනේ. ඒ නිසා තමයි අපි ඇයගෙන් ඉවත් වෙන්න තීරණය කළේ. ඒත් වර්තමානයේදී ආර්ථිකය කෙමෙන් ඉදිරියට අරන් යෑමට මේ ආණ්ඩුව වැඩ කරමින් සිටිනවා.
ඔබ සඳහන් කරන තවත් කරුණක් වෙන්නේ ශ්රීලනිපය, පොහොට්ටුව වගේම ජාතික ජන බලවේගයත් මධ්‍ය වාමාංශික ප්‍රතිපත්ති අනුගමනය කරන බවයි. ඒ තත්ත්වය තුළ මේ පක්ෂවල වෙනස ඔබ පෙන්වා දෙන්නේ කොහොමද?
එදා බණ්ඩාරනායක මැතිනිය, චන්ද්‍රිකා මහත්මිය, මහින්ද රාජපක්ෂ ආණ්ඩු අනුගමනය කළේ මධ්‍ය වාමාංශික ජාතිකවාදී ප්‍රතිපත්තියකුයි. ඒ ප්‍රතිපත්ති සහ ජාතික ජන බලවේගයේ ප්රතිපත්තිවල යම් සමීප බවක් පෙනෙන්නට තිබෙනවා. ඒත් පොහොට්ටුව සහ මාලිමාව අතර එක වෙනසක් තිබෙනවා. ඒ තමයි පොහොට්ටුව හොරකම් කිරීම සහ මාලිමාව හොරකම් නොකිරීම.
ආණ්ඩුව වෙත එල්ල වෙන තවත් චෝදනාවක් වන්නේ ආණ්ඩු බලය ගත්තද රාජ්‍ය බලය ලබා ගැනීමට අසමත් වීම සහ තවමත් පැරැණි නිලධාරීන් පැරැණි ස්ථානවලම ඉන්නවා කියන කරුණයි. එහෙමනම්, ආණ්ඩුවේ පැවැත්මට මේ තත්ත්වය බාධාවක්ද?
මෙහි පැති දෙකක් තිබෙනවා. ආණ්ඩුවක් විදිහට බලයට පැමිණියත් ආණ්ඩුවේ බොහෝ දෙනකුට අත්දැකීම් ලබා ගැනීමට තවත් ඉදිරි කාලයක් අවශ්‍ය වෙනවා. කවුරු වුණත් වැඩකට බැස්සාම තමයි ඒ වැඩේ ගැන අත්දැකීම් ඇති වෙන්නේ. මෙය ආණ්ඩුකරණයටත් අදාළයි. කිසිම කෙනෙක් උපතින් අත්දැකීම් අරන් එන්නේ නැහැනේ. ඒ ඒ කාර්යවල නියැළීමෙන් තමයි කාටත් අත්දැකීම් ලැබෙන්නේ.
ඉතින්, ආණ්ඩුවක් බලයට පැමිණි විගස සියලු නිලධාරීන් ඉවත් කිරීම දේශපාලන වශයෙන් මුහුකුරා ගිය වැඩක් නොවෙයි. එය දේශපාලනික වශයෙන් අනුවණ දෙයක් විදිහටයි සලකන්න පුළුවන්කම තිබෙන්නේ.
උදාහරණයක් විදිහට මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ වගේ අය ඉවත් නොකර ඔවුන්ගෙන් ජාතික වශයෙන් වැදගත් මෙහෙවරක් ඉටු කර ගැනීමට කටයුතු කරනවා නම් හොඳයි. අනෙක, ආණ්ඩුව දිනූ විගස ඒ පත්වීම් වෙනස් කළා නම් රට අර්බුදයකට යන්නත් ඉඩ තිබුණා. ඒත් ඒ පත්වීම් දිගටම පවත්වාගෙන යෑම තුළ අයි.එම්.එෆ්. වැඩපිළිවෙළ ඉදිරියට අරන් යෑමටත් හැකියාව ලැබිලා තිබෙනවා. ඇත්තෙන්ම, රටේ අභිවෘද්ධියට ඒ වැඩපිළිවෙළ එක දිගට පවත්වා ගෙන යා යුතු දෙයක් නිසා එයට සුදුසුම පිරිස තමයි ඒ සඳහා පත්ව සිටින්නේ. මහින්ද සමරසිංහ මහතා අමෙරිකාවේ තානාපතිවරයා විදිහට නියම තානාපති භූමිකාවක නියැළෙනවා. ඇත්තෙන්ම ඔහු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු විදිහට ඔහුගේ වගකීම විශිෂ්ට අන්දමින් ඉටු කරමින් සිටිනවා. ඒ නිසා අලුත් ආණ්ඩුවක් පැමිණි නිසා සියල්ලන් හෝ සියලු දේ වෙනස් කළ යුතු නැහැ. අත්‍යවශ්‍ය වෙනස් කිරීම් තමයි කළ යුතුව තිබෙන්නේ. මේ ආණ්ඩුව ඒ කාර්යය නිසි විදියට කරන බවක් පෙනෙන්නට තිබෙනවා. අනෙක් අතට නිසි විදිහට කටයුතු නොකරන අසාර්ථක නිලධාරීන් සිටිනවා නම් ඔවුන් වෙනුවටයි විකල්ප පත් කළ යුතුව තිබෙන්නේ. හරි පුද්ගලයන් පත් කර ගැනීම තුළින් ආණ්ඩුවට සාර්ථක ගමනක් යෑමටත් හැකියාව ලැබේවි.
ආණ්ඩුව අනුගමනය කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය ගැන ඔබට තිබෙන්නේ කුමන ආකාරයේ අදහසක්ද?
ජාතික ජන බලවේගය කියන්නේ පැරැණි ජවිපෙ පමණක් නොවෙයි. මෙම දේශපාලන පක්ෂය තුළ තිබෙන්නේ මධ්‍යස්ථ වාමාංශික ආර්ථික ප්‍රතිපත්තියක් වගේම ජාතික ආර්ථිකය ගැන වැඩි විශ්වාසයක් තබන වැඩපිළිවෙළකුයි. වමේ ධාරාවේ පක්ෂයකට රටක් දියුණුව වෙත රැගෙන යනවා නම් කළ යුතු මූලික කරුණක් වන්නේ ගතානුගතික යල් පැනගිය ප්‍රතිපත්ති සීමා බිඳදැමීමයි. සමාජවාදය යුරෝපයේ බිඳවැටුණා. සෝවියට් දේශය කඩා වැටුණා. සෝවියට් දේශයේ ජනාධිපති වූ ගොර්බොචොක් මහතා යම් ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ඇති කළා. ඒත් එතකොට ප්‍රමාද වැඩියි. චීනය තමන්ගේ දැඩි ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළා. එහිදී මුලින් ලොකු ප්‍රතිරෝධයක් නැඟුණා. ඒ ප්‍රතිරෝධය ශිෂ්‍ය අරගලයක් විදියටත් මතුව ආවා. ඒත් ඒ අරගලය පාලනය කළා. නව ආර්ථික ප්‍රතිපත්තිය තුළ චීනය මුලින් සාර්ථක වුණා. ඒත්, අද වන විට ලෝකයේ දියුණු රටවල් අතරට පැමිණ තිබෙනවා.
ඒ වගේම වියට්නාමයත් සමාජවාදී පාලනයක් අරන් යන රාජ්‍යයක් වුවත් නව ප්‍රතිපත්තියක් මත පිහිටා ආසියාවේ නැඟී එන රාජ්‍යයක් බවට පත්ව තිබෙනවා. ඒ රටවල් දෙකම පාලනය කරනු ලබන්නේ කොමියුනිස්ට් පක්ෂ විසිනුයි. අද අප රට පාලනය කරනු ලබන්නෙත් සමාජවාදී දේශපාලන ධාරාව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂයක්නේ. ඒ නිසා ඔවුන්ටත් පුළුවන් චීනය, වියට්නාමය ආදාර්ශයට ගෙන අපේ රටේ ආර්ථිකයත් වෙනස් කිරීමට. අද වෙද්දි අපට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න හොඳ මොඩලයක් විදිහට මේ ආර්ථික ක්‍රමය සුදුසු යැයි මා විශ්වාස කරනවා. පොදුජන පෙරමුණ, සර්වජන බලය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පක්ෂත් අනුගමනය කරන්නේ මේ ප්‍රතිපත්තිම වුවත් වංචාවෙන් දූෂණයෙන් තොරව මේ ආර්ථික වැඩපිළිවෙළ ගෙන යෑමට හැකියාව තිබෙන්නේ ජාතික ජන බලවේග කණ්ඩායමට බව පැහැදිලියි. ඒ වගේම මේ ප්‍රතිපත්තිය සාර්ථකව ඉදිරියට ගෙන යනවා නම් ගෙනයාමට හැකියාව තිබෙන්නෙත් ඔවුනටම පමණයි.
උදිත ගුණවර්ධන
ඡායාරූපය – වාසිත පටබැඳිගේ