ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාමය ක්රියාත්මක වෙමින් තිබියදී දෙරටම යුද සිරකරුවකු බැගින් හුවමාරු කරගත් බව පාකිස්තාන ජාතික රූපවාහිනි සේවය උපුටා දක්වමින් එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. ඉන්දු- පාකිස්තාන වගා අටාරි දේශසීමාව අසලදී හුවමාරු කරගත් යුද සිරකරුවන් දෙදෙනාම ආරක්ෂක අංශවල සාමාජිකයන් බව ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
එම යුද සිරකරුවන් හුවමාරුවේදී ඉන්දියාව විසින් අත්අඩංගුවට ගත් පාකිස්තාන දේශසීමා ආරක්ෂක සෙබළුකු වන මහ්මුදුල්ලා ඊයේ ඉන්දීය නිලධාරීන් විසින් පාකිස්තාන නිලධාරීන්ට බාර දෙනු ලැබූ බවත්, ඒ වෙනුවට පාකිස්තාන හමුදාවේ අත්අඩංගුවේ පසුවූ ඉන්දීය දේශසීමා ආරක්ෂක බළකායේ පොලිස් කොස්තාපල්වරයකු වන පූර්නම් කුමාර් ෂෝ ඉන්දීය නිලධාරින් වෙත බාර දී ඇති බවත් වාර්තා වේ.