බූස්ස බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ අහංගම වලවගේ සිරිදත් ධම්මික (විශ්රාමික) මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු සහ සැකකාරියක ගලේවෙල පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් පෙරේදා (13) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දේවහුව එකේ ඇළ ප්රදේශයේ පදිංචි යුවළකි. මොවුන් වයස අවුරුදු 47ක් වූ සැකකරුවකු සහ වයස අවුරුදු 34ක් වූ සැකකාරියක බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සහ සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
විශ්රාමික බන්ධනාගාර අධිකාරිවරයකු වූ සිරිදත් ධම්මික මහතා සිය නිවසේ මිදුලේ සිටියදී මාර්තු මස 13දා පස්වරුවේදී වෙඩි තබා ඝාතනය කොට තිබුණි. මෙසේ ඝාතනය කොට ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ අහංගම වලවගේ සිරිදත් ධම්මික (61) නමැති විශ්රාමික බන්ධනාගාර අධිකාරිවරයෙකි.
මොහු අක්මීමණ ඉහළගොඩ ප්රදේශයේ පිහිටි සිය නිෙවස ඉදිරිපිට ගෙවත්තේ වැඩ කරමින් සිටි අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් ඔහුට වෙඩි තබා පලා ගොස් තිබුණි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ විශ්රාමික බන්ධනාගාර අධිකාරිවරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර ප්රතිකාර අංශයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.