ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් පත් කරනු ලැබ තිබේ.
මහේන් වීරමන්, අමාලී රණවීර, ප්‍රදීප් අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් එම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල සමන්විත වේ.
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව විශේෂ නඩුකරයක් සේ සලකා එය විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස නීතිපති පාරින්ද රණසිංහ මහතා අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව මෙම පත්කිරීම් කර තිබේ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය හේතුවෙන් මෙරටට විශාල ආර්ථික පාඩුවක් මෙන්ම මෙරට ජනතාවට විශාල හානියක් සිදු වූ බව නීතිපතිවරයා විසින් අදාළ ඉල්ලීම කරමින් අගවිනිසුරුවරිය වෙත යවන ලද ලිපියෙහි සඳහන් වී තිබිණි.
මේ හේතුවෙන් රජයට සිදු වී ඇති පාඩුව සහ මහජනයාට සිදු වූ හානිය යන කරුණු සැලකිල්ලට ගෙන 2018 අංක 9 දරන විශේෂ පනත යටතේ මෙම නඩු පැවරීම සිදු කිරීමට නියමිත බව එහි දැක්විණි.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි සැකපිට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව මෙම නඩුව පැවරීමට නියමිතය.
මෙම ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසකට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ද නඩුවක් පැවැත්වෙන අතර පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට පසුගියදා නියම කෙරිණි.