Friday, May 16, 2025
Home » ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපතිට ඇප

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපතිට ඇප

by chanaka
May 15, 2025 4:13 pm 0 comment

කල්පනි අබේසිංහ

2014 වසරේ කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව උත්සව කටයුතුවලට වියදම් කිරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 276 ක පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා මහතා ඇප මට මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (15)නියෝග කළාය.

ඒ අනුව සැකකරු මිලියනය බැඟින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍ර අධිකරණ භාරයට ගනු ලැබුවාය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් සැකකාර හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඊයේ පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ නියෝග කෙරුණී.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් 2014 වසරේ කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා නුගේගොඩ රත්තන පිටියේ සිට බෙල්ලන්විල දක්වා ක්‍රියාත්මක කරන ලද වේරන්ස් ගඟ ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා උත්සවයක් පවත්වා ඇති බවයි.

එම විවෘත කිරීමේ උත්සවය මෙහෙයවීමේ කටයුතු භාතිය ජයකොඩි නමැති අයෙකුට අයත් “ෂෝටවුට් එන්ටර්ටේට්මන්ට්” නැමැති ආයතනයකට සැකකාර හිටපු සභාපතිවරයා විසින් භාරදී ඇති බව සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් එහිදී රජයේ පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොමැති බවත් සඳහන් කළේය .

ඊට අමතරව අදාළ ආයතනයට වාසියක් සලසා දීමේ අරමුණින් සැකකරු මෙම කාර්යය සිදුකර ඇති බවත් ඒ සඳහා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොතිබූ බවත් අල්ලස් කොමිසම පැවසුවේ ය.

මේ හරහා රජයට රුපියල් ලක්ෂ 276 ක පාඩුවක් සිදුකර ඇති බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වූ බවත් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේය.

ඒ අනුව අල්ලස් හෝ දූෂණ පණතේ 70 වගන්තිය ප්‍රකාරව සැකකාර පුද්ගලයා දූෂණය නමැති චෝදනාව යටතේ වරදක් කර ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නඩුව ජුනි 24 වැනිදා යළි කැඳවීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT