නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු ආගමික ස්ථාන සහ සර්වාගමික දහම් පාසල් එකතු කරමින් විවිධ ආගමික සහ සංස්කෘතික අංගවලින් සමන්විත චාරිත්‍ර විදහා දැක්වූ සංස්කෘතික සහ සාරධර්ම පෙරහරක් නුවරඑළියේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව සංවිධානය කර තිබිණි.
නුවරඑළිය, හාවාඑළිය, ගයාත්‍රී අම්මාන් දේවාලයේ සිට මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික පූජකවරුන් පෙරටු කර ගනිමින් පෙරේදා (13) උදෑසන ආරම්භ වූ මේ පෙරහර නුවරඑළිය නගරය හරහා පැමිණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ගෙවැදීම සිදු විය.
බෞද්ධ ප්රබෝධය ඇති වන පරිදි සියලු ජන කොටස්වල සහභාගිත්වයෙන් යුතුව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සැමරීම ප්‍රමුඛ කොට ගනිමින් මේ පෙරහර සංවිධානය කර තිබිණි.
මෙහිදී දහම් පාසල් සිසුන් සිය ආගමට සහ සංස්කෘතියට මුල්තැන දෙමින් සකස් කර ගත් විචිත්රාංග ඉදිරිපත් කළ අතර, ආගම් අතර එකමුතුභාවය පිළිබඳ වූ වැකි සහිත පුවරු ප්‍රදර්ශනය ද දක්නට ලැබිණි.
ජාතික වෙසක් සතියට සමගාමීව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයෙන් ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ද වෙසක් පුන් පොහෝ දින නුවරඑළිය, හාවාඑළිය අශෝකාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
නුවරඑළිය හාවාඑළිය අශෝකාරාමාධිපති, දෙහිගහහේනේ කෝවිද හිමියන්ගේ අනුශාසනා පරිදි සිල් සමාදන්වූ උපාසක උපාසිකාවන් ඇතුළු ප්‍රදේවාසීහු දැනුම්වත් කිරීම මෙහිදී සිදු කෙරිණි.
මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව කොත්මලේ මලියදේව පුරාණ රාජමහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීම ද, කුරුණෑගල ශ්‍රී විෂ්ණු දේවාලය පූජා භූමියක් බවට පත් කිරීම ද සිදු කරනු ලැබීය.
මීට අමතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 23ක් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කෙරිණි.
වෙසක් මහෝත්සවය වෙනුවෙන් සංවිධානය කළ තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනය, බැති ගී ගායනා ඇතුළු අංග රැසක් හෙට (16) දක්වා අඛණ්ඩව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව පැවති චිත්‍ර නිර්මාණ වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික්කයේ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික දහම් පාසල් දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මඟපෙන්වීම අනුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල සහාය ඇතිව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කරනු ලැබීය.