රතිඤ්ඤා සඳහා යොදා ගන්නා වෙඩි බෙහෙත් කුඩු බටයකට දමා කොටා බටය දැල්වීමේ දී පුපුරා ගොස් පාසල් ශිෂ්‍යයෙක් පසුගිය වෙසක් පොහෝදින අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇතැයි පිංදෙණිය පොලීසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෑගල්ල පිංදෙණිය පොලිස් වසමේ අටාල මාබොඩ ලිපිනයේ පදිංචිව සිටි සිසුවෙකි. මුහන්දිරම්ලාගේ ඉමල්ක රන්සිළු නමැති එම සිසුවා 14 හැවිරිදි වියේ පසුවිය.
මියගිය ශිෂ්‍යයා පිංදෙණිය ජාතික පාසලේ 9 ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිටි බව පොලීසිය සඳහන් කළේය. ඉමල්කගේ පියා ගලිගමුව නගරයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යන අයෙකි.
මරණකරු සිංහල අලුත් අවුරුද්දට පත්තුකිරීම සදහා ගෙනා රතිඤ්ඤාවලින් ඉතිරි කොටස මිදුලට රැගෙනවිත් කරල් ගලවා වෙඩි බෙහෙත් කුඩු බටයකට දමා හිර කරන අයුරු ඔහුගේ සීයා නිෙවසේ කොරිඩොවේ සිට බලා සිටිමින් සිට ඇති බව පොලීසිය පැවසීය.
මේ සඳහා ඔහුගේ බාල සහෝදරයන් දෙදෙනා ද එක්ව සිට ඇත.
වෙඩි බෙහෙත් බටයට පුරවා ගිනි තබා ඇති බවට කරුණු හෙළිවූ බව පොලීසිය කියයි. සිද්ධිය වන අවස්ථාවේදී ඉමල්කගේ පියා නිවෙසේ නොසිට ඇති අතර මව නිවෙෙස් වෙනත් කාර්යයක නිරතව සිට ඇති බවටද හෙළිවී තිබිණි. වෙඩි බෙහෙත් පිරවූ බටය පුපුරා යාමෙන් පසු ඉමල්ක මිදුල පුරා වේගයෙන් ඇවිද ඇති බවත් පසුව, ඔහුගේ සීයා ඔහුව අල්ලාගෙන ත්‍රිරෝද රථයකින් තොරණගහපිටිය ග්‍රාමීය රෝහලට රැගෙන ගොස් ඇත.
රෝහලට ඇතුළත් කරන විටත් ඉමල්ක මියගොස් සිට ඇති බවට පොලීසිය පවසයි. ශිෂ්‍යයාගේ හිස බෙල්ල අත්වල තුවාල සිදුව ඇති අතර මිදුල පුරා රුධිරය ගලා ගොස් ඇති බවත් පොලීසිය පැවසීය.
දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (13) කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය බණ්ඩාරගේ සංජය මහතා විසින් සිදු කරනු ලැබීය. මෙම දරුවාගේ මරණය, පුපුරා ගිය බටයේ කොටසක් ගෙලෙහි වැදී කැපී රුධිරය පෙණහලුවලට ගලා යාමෙන් සිදු වූ හදිසි මරණයක් බවට ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක ලලිතා නන්දනී මහත්මිය තීන්දු කළාය. මියගිය පාසල් ශිෂ්‍යයාගේ අවසන් කටයුතු ඊයේ (14) වැනිදා පවුලේ සුසානභූමියේ දී සිදුකෙරිණි.
පිංදෙණිය පොලිසියේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මියගේ උපදෙස් මත එහි උප පොලිස් පරීක්ෂක සරත්, පොලිස් සැරයන්වරුන් වන අජිත් අමරසිරි (30927), වීරසූරිය (33405) යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.