Thursday, May 15, 2025
Home » මාර්ග අන­තුරු ගැන නව වන්දි ක්‍රම­යක් හඳුන්වා දෙනවා

මාර්ග අන­තුරු ගැන නව වන්දි ක්‍රම­යක් හඳුන්වා දෙනවා

- ප්‍රවා­හන ඇමැති බිමල් රත්නා­යක

by Gayan Abeykoon
May 15, 2025 1:06 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

මාර්ග අන­තුරු සම්බ­න්ධ­යෙන් නව වන්දි ක්‍රම­යක් හඳුන්වා දීම­ටත් මාර්ග ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදී විවිධ අණ පනත් ගෙන ඒම­ටත් කට­යුතු කරන බව ප්‍රවා­හන මහා­මාර්ග වරාය හා ගුවන් සේවා ඇමැති බිමල් රත්නා­යක මහතා පැවැ­සීය.

මාර්ග ආර­ක්ෂාව පිළි­බ­ඳව ක්‍රියා­මාර්ග 50ට වැඩිය මේ වන­වි­ටත් ගෙන තිබෙ­නවා ඒවා ක්‍රියා­ත්මක කිරී­මට කඩි­න­මින් කට­යුතු කර­නවා. ලංගම බස් රථ­ව­ලට සීට් බෙල්ට් සවි කිරී­මට මුදල් වෙන් කර තිබෙ­නවා.

මොඩි­ෆි­කේ­ෂන් සම්බ්න­ධ­යෙන් ගැස­ට්ටු­වක් නිකුත් කර­නවා  යැයි කී ඒ මහතා මේ තීන්දු තීරණ කොත්මලේ ගැර­ඬි­ඇල්ල අන­තු­රින් පසුව ගත් ඒවා නොවන බවත් ඉන් පෙර ගත් තීරණ බවත් කීවේය.

දුර ගමන් සේවා බස් රථ ධාව­න­යට පෙර පූර්ව පරී­ක්ෂා­වක් සිදු කිරීම, බස් රථය ධාව­නය කරන රියැ­දුරු නිරී­ක්ෂ­ණ­යට නව තාක්ෂ­ණය යොදා ගැනීම, දුර සේවා බස් රථ ආපන ශාලා­වල රියැ­දු­රුට විවේක ගැනී­මට හැකි වන සේ තත්ත්ව­යෙන් උසස් ලෙස සකස් කිරීම.

විද්‍යා­ත්මක අන­තුරු වාර්තා­ක­ර­ණ­යට අවශ්‍ය පසු­බිම පරිදි සකස් කිරීම, මාර්ග­වල හඳු­නා­ගත් අනා­ර­ක්ෂිත ස්ථාන­වල ආර­ක්ෂිත වැට­වල් ඉදි­කි­රීම, අනා­ර­ක්ෂිත දුම්රිය මාර්ග 440ක දුම්රිය ගේට්ටු සවි කරිම කඩි­න­මින් සිදු කරන බව ද අමා­ත්‍ය­ව­රයා කියා සිටි­යේය.

කොත්මලේ, ගැර­ඬි­ඇල්ල ප්‍රදේ­ශ­යේදී පසු­ගි­යදා සිදුවූ බස් රථ අන­තුර සම්බ­න්ධ­යෙන් අව­සන් වාර්තාව රස පරී­ක්ෂ­ක­ව­ර­යාගේ වාර්තාව සහ මෝටර් වාහන පරී­ක්ෂ­ක­ව­ර­යාගේ වාර්තා ලැබුණු සැනින්  නිකුත් කරන බව ද හෙතෙම පැවැ­සීය.

මිය ගිය එක් අයකු වෙනු­වෙන්  රුපි­යල් ලක්ෂ 10ක මුද­ලක් ලබා­දෙන බවත් එම මුදල් මේ වන විට ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල වෙත ලබාදී ඇති බව ද ඔහු කීය. එම මුදල් මිය­ගිය අයගේ පවුලේ සාමා­ජි­ක­යන් වෙත භාර දෙනු ඇති බව කියා ඇමැ­ති­ව­රයා කියා සිටි­යේය.

අන­තුර සිදුවූ අව­ස්ථාවේ ජන­තාව දැක්වූ සහෝ­ද­ර­ත්ව­යට සහ අන­තු­රින් තුවාල ලබා සිටි එහෙත් ඊට වඩා තුවාල ලැබූ අය වෙන්වෙන් කට­යුතු කර­මින් එම බස් රථයේ ගමන් ගත් පිරිස දැක් වූ වීර­ත්ව­යට තම ස්තූතිය පුද කරන බව ද ඇමැ­ති­ව­රයා කීය.

කොත්මලේ රෝහල් කාර්ය මණ්ඩ­ලය සිදු කළ සේවා­වට ප්‍රශංසා කරන බව ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

අන­තු­රුට බස් රථය පත් වූ ස්ථානයේ මාර්ගයේ කිසිදු අනා­ර­ක්ෂිත බවත් නැති බවත් ඊට අදාළ වාර්තාව මාර්ග සංව­ර්ධන අධි­කා­රි­යෙන් ලැබී ඇති බවත් ඇමැ­ති­ව­රයා මෙහිදී කියා සිටි­යේය. අනෙ­කුත් වාර්තා ඉදි­රි­යේදී ලැබී­මට නිය­මිත බවත් කීවේය.

ඒ මහතා මේ බව කියා සිටියේ  ප්‍රවා­හන අමා­ත්‍යාං­ශයේ දී ඊයේ (13)  පැවැති මාධ්‍ය හමු­ව­කට එක් වෙමිණි.

එහිදි අමා­ත්‍ය­ව­රයා මෙසේද කියා සිටි­යේය.

ඒ අව­ස්ථාවේ කොත්මලේ රෝහල කට­යුතු කරේ ඒ  කාලේ බෝම්බ පිපි­රුණු විට ඇතිවූ තත්ත­ව­යක් වගෙයි. කොත්මලේ රෝහල් ඒ වගේ තත්ත­ව­ය­කට මීට කලින් මුහුණ දීලා නැහැ. ඉතාම ඉහළ මැදි­හ­ත්වී­මත් කොත්මලේ රෝහල කරා. ඉන් පසු ගම්පොළ, නුව­ර­එ­ළිය නාව­ල­පි­ටිය, පේරා­දෙ­නිය  ළමා රෝහල, පේරා­දෙ­නිය රෝහල සහ මහ­නු­වර රෝහල් හය උප­රිම කැප­වී­මෙන් කට­යුතු කරා. අපි ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට අග­යන්න මේ අව­ස්ථාව යොදා ගන්නවා.

මෙම අන­තු­රින් තුවාල ලැබූ අය අතර කෙටි කාලි­නව දිගු කාලි­නව සුව වන පිරි­සක්  සිටි­නවා. මේ අය අත­රින් ආර්ථික වශ­යෙන් අස­රණ වන පිරි­සක් සිටි­නවා. ඒ අයට ජනා­ධි­පති අර­මු­ද­ලින් සහාය වීමට කට­යුතු කරාවි. තුවාල වූ අයට කඩි­න­මින් කට­යුතු කරන්න බැහැ. ඒ අය පිළි­බඳ වෛද්‍ය වාර්තා ගෙන කට­යුතු කර­නවා.

මේ බස් රථය ලංගම අයත් බස් රථ­යක් . එය සම්පූ­ර්ණ­යෙන්ම රක්ෂ­ණය කළ බස් රථ­යක් රක්ෂ­ණය සමග ඔවුන් සාකච්ඡා කර තිබෙ­නවා. එය ප්‍රමාද වුවත් වන්දි ලබා දීමට කට­යුතු කරාවී. ලංගම විසින් ලබා දෙන රුපි­යල් 25000 මුද­ලක් ලබා දෙනවා. එය ලබා දෙන්නේ මර­ණ­යට මිල ලෙස නෙමෙයි.

ලංග­මය විසින් දෙන මුද­ලක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය, ක්‍රිකට් කණ්ඩා­යම මේ දරු­වන්ට දිගු කාලී­නව උදව් කරන්න බලා­පො­රොත්තු වෙනවා. ඒ අය අපි සමග සාකච්චා කර තිබෙ­නවා. අවශ්‍ය සම්බ­න්ධි­ක­රණ කට­යුතු අපි සිදු කර­නවා. තුවාල ලත් අය ඔවුන් රැක බලා ගැනීම සම්බ­න්ධ­යෙන් අපි කට­යුතු කර­නවා. රෝහල් වල යම් දෙයක් අවශ්‍ය වන්නේ නම් පැය කිහි­ප­යක් තුළ ඒවා සපයා දීමට කට­යුතු කර තිබෙ­නවා. අවශ්‍ය වෛද්‍ය උප­ක­රණ පහ­සු­කම් ලබා දීමට රජය සූදා­න­මින් සිටින බව අපි දැනුම් දුන්නා.

අමා­ත්‍යාංශ පොලී­සිය සහ ලංගම අන­තුර සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ සිදු කර­නවා. අන­තුරු ලංකාවේ සිදු වූ විශා­ල­තම මාර්ග අන­තු­රක් පිළි­බඳ ඛේද­වා­ච­ක­යක්. මීට කලින් මෙප­මණ ප්‍රමා­ණ­යක් මිය ගියේ යාංග­ල්මෝ­දර අන­තු­රින්. එහිදී නීති විරෝ­ධීව බසය ධාව­නය කිරී­මක් බව අනා­ව­ර­ණය වූවා.

රියැ­දුරු මහතා සම්බ්න­ධ­යෙන් සහ බසයේ කාර්මික තත්වය මෙන්ම මාර්ගයේ තත්ත­වය සම්බ­න්ධ­යෙන් වාර්තා කැඳවා තිබෙ­නවා. ආය­තන හත­ර­කින් පමණ වාර්තා කැඳවා තිබෙ­නවා. බස් රථයේ ගමන් කළ මගීන්ගේ නිරී­ක්ෂණ මෙන්ම කොන්දො­ස්තර මහතා ලබා දෙන තොර­තු­රුත් අව­සාන නිග­ම­න­යට බල­පා­නවා.මේ පිළි­බ­ඳව සැබෑ තත්ත­වය ඉදි­රි­පත් කිරී­මට හැකි වේවි.

විකෘති කරන ලද අද­හස් ප්‍රකාශ කිරී­මෙන් වළ­කින ලෙස ඉල්ලා සිටි­නවා. මේ අන­තුර ලංකාව කම්ප­නය කළ අන­තු­රක්. දින­පතා පහක් හයක් මිය යනවා අන­තුරු වලින්. එක් වර සිදු වූ නිසයි මේ කම්ප­නය. මාර්ග ආර­ක්ෂාව මගී ආරක්ෂා පිළි­බ­ඳව ඉතාම ඉහළ මට්ට­ම­කට යාමට අව­ශය අණ පනත් ගෙන එනවා.

ලංගම නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරි චන්ද්‍ර­සිරි මහතා.

මේ බස් රථය කර­ගම ඩිපෝ­වට අයත් බස් රථ­යක්. කත­ර­ගම ඩිපෝ­වෙන් මෙම මාර්ගයේ බස් රථය ධාව­නය වන්නේ දින 16යි. ඉතිරි දින තණ­ම­ල්විල ඩිපෝ­වෙ­නුයි  ධාව­නය වන්නේ. බස් රථයේ රිය­දුරා ඉතා­මත් හොඳින් රැකි­යාව කළ අයෙක්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT