පදනම්විරහිත ජන සංහාර චෝදනා ශ්‍රී ලංකා රජය තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා සඳහන් කරයි.
ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (14) කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ස් මහතා හමු වූ අවස්ථාවේදීය.
යුද ගැටුම්වල අවසාන අදියරේ දී ජන සංහාරයක් සිදු කළ බවට කෙරෙන චෝදනාව ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිදු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ කර නොමැති බවත් මෙම අසත්‍ය චෝදනාව මැතිවරණ වාසි ලබා ගැනීම සඳහා කැනඩාව තුළ ප්‍රචාරය කරන ලද්දක් බව විශ්වාස කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු කළ බවට කිසිදු අනාවරණය කර ගැනීමක් කැනඩා රජය විසින් සිදු කර නොමැති බව 2021 වසරේ අප්‍රේල් මාසයේදී කැනඩාවේ විදේශ කටයුතු, වෙළෙඳ හා සංවර්ධන දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කර ඇත. ඊට අමතරව 2006 වසරේ දී දෙමළ ඊළාම් විමුක්ති කොටි, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළ කැනඩාව 2024 වසරේ ජූනි මාසයේදී එය නැවත තහවුරු කර ඇත.
කැනඩාවේ බ්‍රැම්ප්ටන් නුවර චින්ගුඅකවුසි උද්‍යානයේ ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පුන පුනා දැඩි විරෝධතා පළකර ඇති බවත් බ්‍රැම්ප්ටන් නගර සභාවේ මෙම කනගාටුදායක මුලපිරීම වැළැක්වීමට මැදිහත් වන ලෙස කැනඩා ෆෙඩරල් රජයෙන් ශ්‍රී ලංකා රජය නිරන්තරයෙන් ඉල්ලීම් සිදු කර තිබේ.
මෙම ඉදිකිරීම, ශ්‍රී ලාංකේය සහ කැනේඩියානු ප්‍රජාවන්ට අහිතකර බලපෑමක් ඇතිකරන්නක් බවට ශ්‍රී ලංකාව සලකන අතර එවැනි පදනම්විරහිත චෝදනා ප්‍රචාරය කිරීම සහ අසත්‍ය මත පදනම් වූ ස්මාරක ඉදිකිරීම මහජනතාව නොමඟ යැවීමක් පමණක් නොව, සියලු ප්‍රජාවන් අතර සංහිඳියාව, ජාතික සමගිය සහ චිරස්ථායී සාමය සඳහා ගනු ලබන ශ්‍රී ලංකාවේ සැබෑ ප්රයත්නයන්ට බාධාවක් වන බව ශ්‍රී ලංකාව තරයේ විශ්වාස කරන බව ද එහිදී අවධාරණය කර ඇත.
මෙවන් ක්‍රියා හේතුවෙන් සංහිඳියාව සහ ජාතික සමගිය සඳහා වූ රජයේ ප්‍රයත්න සංකීර්ණභාවයට පත්වන අතර, හෑල්ලුවට ද ලක්වන බව එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.