ජාතික හෙද විශ්වවිද්‍යාලය හැකි ඉක්මනින් මෙරට ස්ථාපිත කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒකාබද්ධව අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවත් එය ආරම්භ කිරීම සම්බන්ධයෙන් පවතින අඩුපාඩුකම්, ප්‍රායෝගික ගැටලු විසඳීමට, කමිටුවක් පත් කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.
ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සංවිධාන කළ සැමරුම් උත්සවයට සහභාගි වෙමින් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී ඇමැතිවරයා මේ බව ඊයේ (14) කියා සිටියේය.
Òහෙදිය අපේ අනාගතයයි – හෙදියට සත්කාරය තුළින් ආර්ථිකය ශක්තිමත් වේÓ යන්න තේමා කර ගනිමින් මෙවර හෙද දිනය සැමරීය.
ජාතික හෙද විශ්වවිද්‍යාලය මෙරට තුළ ආරම්භ කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් විශාල කාර්යභාරයක් ඉටුකළ බව ද ඇමැතිවරයා පැවසුවේය.
පවතින අඩුපාඩු, ප්‍රායෝගික ගැටලු විසඳීමකින් තොරව විශ්වවිද්‍යාලයක් ආරම්භ කළහොත් එය ඉදිරියේදී, ප්‍රශ්න ගණනාවක් උද්ගතවීමට ඉඩ ඇති බවත් එබැවින් ගැටලු නිරාකරණය කර නුදුරු කාලය තුළදීම ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.
විශේෂයෙන්ම ඉතිහාසය විසින් මෙරට පුද්ගලයන්ගේ උරමත මේ පටවා තිබෙන්නේ ලාංකීය රාජ්‍යය, පොහොසත් රාජ්‍යයක් කිරීම සහ එහි වෙසෙන මිනිසුන්ගේ ජීවිත ලස්සන කිරීමේ වගකීම බවත් එම අරමුණ ඉටු කිරීමට නම් ඉදිරි වසර තුන තුළ දී අඛණ්ඩව වෙහෙස නොබලා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය ක්ෂේත්රයේදී ඔබ දැනටමත් හෙදියන් හැටියට කරන කාර්යභාරය නොවන්නට මෙම ක්ෂේත්‍රය මේ තරමින්වත් පවත්වා ගෙන යාම දැඩි අභියෝගයක් වීමට ඉඩ තිබූ බව මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා, ජාත්‍යන්තරය ඉදිරියේ දී මෙරට සෞඛ්‍ය සේවාවේ නිර්ණායකයන් පිළිබඳ අපි රටක් හැටියට උද්දාමයට පත්වන විට එහි විශාලතම කාර්යභාරයක් ඉටු කර තිබෙනුයේ ශ්‍රී ලාංකික හෙද සේවය නියෝජනය කරන ඔබ යැයි ද, අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවැසීය.
සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉදිරියේ දී, අභියෝග කිහිපයකට මුහුණ දෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, එයින් මූලික වන්නේ වේගයෙන් වැඩි වෙන වියපත් ජනගහනයට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීම බව සඳහන් කළේය. මෙරට සෞඛ්‍ය නිර්ණායක මෙන්ම මෙරට සෞඛ්‍ය සැලැස්ම සකස් කිරීමේ දී, මෙම වැඩිහිටි ජනගහනය රෝහලෙන් පිටත දී, රැකබලා ගැනීම කළ යුත්තේ කෙලෙස ද කියන කරුණ මත පදනම්ව අදාළ සැලසුම් සකස් විය යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.
අනෙක් කරුණ වනුයේ, බාහිර රෝගී අංශවල රෝගීන් වැඩිම ප්‍රමාණයක් පැමිණෙන්නේ බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට බව සිහිපත් කළ අමාත්‍යවරයා, බාහිර රෝගීන් හෝ නේවාසික රෝගීන් හැටියට බෝ නොවන රෝග සඳහා රෝහල්වලට ඇතුළු වන ප්‍රමාණය අවම කර ගනිමින් මහජනතාව සමඟ සම්බන්ධ වී ඒ අයට නීරෝගිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් වියයුතු බව ද සඳහන් කළේ ය. මේ සඳහා ඉදිරි වසර තුන තුළ දී ප්‍රජාව පදනම් කර ගනිමින් ප්‍රාථමික සෞඛ්‍ය ඒකක 1000ක් අලුතින් ගොඩනැඟීමට සැලසුම් කර තිබෙන බව ද සඳහන් කළ අමාත්‍යවරයා, එහිදී, ප්රජාවත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් සම්බන්ධ කරගනිමින් මූලික කාර්යභාර්ය ඉටු කිරීමේ වගකීම පැවරෙනුයේ ද මහජන සෞඛ්‍ය, හෙද කාර්ය මණ්ඩලයට බව ද, මෙහිදී අවධාරණය කළේය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සමරු තිළිණයක් ද මෙහි දී ප්රදානය කරන ලදි.
මෙම සැමරුම් උත්සවයට, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය එම්. තිලකසිරි මහත්වරුන් ද, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්යක්ෂවරුන්, හෙද විදුහල්වල විදුහල්පතිවරුන් ඇතුළුව හෙද හෙදියන් පිරිසක් ද සහභාගි වූහ.