ස්වාභාවික විපත් හමුවේ ගොවි ජනතාව වෙනුවෙන් මේ රටේ විධිමත් වන්දි ක්‍රමවේදයක් සකසා නොමැති බවත් පංගු භේදයකින් තොරව වගා කටයුතු සිදු කරන සියලු ගොවීන්ට ස්වාභාවික විපත් හමුවේ වගාබිම් සඳහා වන්දි ලබාදීමට කටයුතු කළ යුතු බව මැදවච්චිය ගොවීහු පවසති.
මීට දින කිහිපයකට පෙර මැදවච්චිය, තුලාන අංක 48 පූනෑව, අනේකට්ටිය ප්‍රදේශයට හමා ආ දරුණු සුළි සුළඟින් වගාබිම් රැසකට සහ ගොවි පවුල් රැසකට හානි සිදු විය. එම හේතුවෙන් අනේකට්ටිය ප්‍රදේශයේ වගාකර තිබූ පොල්, කෙසෙල් සහ ගස්ලබු අක්කර 75කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණි. මෙම ගොවීන් බැංකු ණය සහ කනකර බඩු උකස් තබා සොයාගත් මිලියන 50ට ආසන්න මුදලක් ආයෝජන කරමින් සිදු කළ මෙම වගාවන් විනාශවීමත් සමඟ ගොවීන් දැඩි මානසික ව්‍යාකූලත්වයකට පත්ව ඇත. ඇතැම් බලධාරීන් මෙම වගාවන් සඳහා වන්දි ලබා නොදෙන බව පවසමින් එම ගොවීන් තව තවත් මානසික ව්‍යාකූලත්වයට පත්කරමින්ද සිටිති. ඒ අනුව අසරණ වූ ගොවීහු අප කළ විමසීමකදී මෙසේ පැවැසීය.
පාලිත දයාරත්න ගොවි මහතා, “අක්කර භාගයකින් යුත් මගේ ගස්ලබු වගාව සුළි සුළඟට අහුවුණා. ගස් 520ක් පමණ මෙහි තිබුණා. එම සියලුම ගස් සුළඟින් වැටුණා. පලදාව නෙළන්න සූදානම් වෙලා හිටියේ අපි. අපේ ගස්ලබු වගාවේ කිලෝ 40,000ක් පමණ අපතේ ගියා. අපි ගොඩාක් දුක් මහන්සි වෙලා මේවා කළේ. ලක්ෂ 15ක් වියදම් කළා. කනකර බඩු උකස් තියලා මේ වගාව කළේ.
හානි සිදුවී දින කිහිපයක් ගත වුණා. නමුත් මේවනතුරුත් කිසිදු රජයේ වගකිවයුතු බලධාරියෙක් මෙම සිදු වූ හානිය පිළිබඳව සොයා බැලීමට කටයුතු කරේ නෑ. ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි ග්‍රාම නිලධාරි නම් අවා. එච්චරයි. සමහර අයට කතා කළාම කියනවා මේ වගාවන් සඳහා වගා හානි වන්දි දෙන්නේ නෑ කියලා. නමුත් මේ පලතුරු අපි දුන්නේ මුළු රටටම. දේශීය ආදායම ඉහළ නංවන්න අපි දායක වුණා. අද අපි අසරණයි. මේ සුළි සුළඟින් විනාශ වූ පොල්, කෙසෙල් සහ ගස්ලබු වගාවන් සඳහා පංගු බෙදීමක් සිදු නොකර සාධාරණ වන්දියක් අසරණ වූ ගොවියන් සියලු දෙනා හට ලබා දෙන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.
නුවන් සුසීම ගොවි මහතා, “අපේ වගාවේ කෙසෙල් අක්කර 12ක්, පොල් අක්කර 15ක් සහ තැඹිලි අක්කර 4ක් මේ සුළි සුළඟින් විනාශ වුණා. මිලියන 40ක බැංකු ණයක් අරගෙන තමයි මේ වගාව සිදු කළේ. දිවා රාත්‍රී වෙහෙස මහන්සි වෙලා දරුවන් බලා ගන්නවා වගේ තමයි මේ වගාව බලා ගත්තේ. මේ වගාවෙන් ගමේ පවුල් 10ක් වැටුප් අරන් ජීවත් වෙනවා. රටටම මේ නිෂ්පාදන අපි ලබා දෙනවා. දැන් සුළි සුළඟ ඇවිත් දින කිහිපයක් වුණා. කවුරුත් ආවේ නෑ බලන්න මොකද වුණේ කියලා. ගොවීන් එහෙම අසරණ කරන්න එපා. අපිට පිස්සු නොහැදී තියෙන්නේ පෙර කළ පිනකට. මේවට රජය මැදිහත් වෙන්න ඕනේ. මේ වගාවන් සඳහා ගිය වියදම රජයෙන් දෙන්න පුළුවන් ක්‍රමවේදයක් අපට සකසා දෙන්න කියන ඉල්ලීමයි අපි කරන්නේ.
නිලූකා කුමාරි ගොවි මහත්මිය, “අපේ දරුවෝ ඉෙගන ගත්තේ මේ වගාවේ වැඩ කරලා හම්බෙන වැටුපෙන්. එක පාරට සුළි සුළඟක් ඇවිත් අපේ වගා භූමිය විනාශ කළා. අපිට හරිම දුකයි. ගොවියෝ විදිහට අපි හරි අසරණයි. මේ වගේ සිදුවීම්වලදී රජය මූලිකත්වය ගෙන කටයුතු කරන්න ඕනේ. පංගු භේදයකින් තොරව හැමෝටම වන්දි ලබා දෙන්න කියන ඉල්ලීම අපි කරනවා.
එස්. සුරංගි ගොවි මහත්මිය. “අපේ ගස්ලබු වගාවෙන් ලක්ෂ 80ක විතර ආදායමක් ගන්න තිබුණා. සියලු බලාපොරොත්තු එක සුළි සුළඟකින් විනාශ වුණා මහත්තයෝ. අපට කතා කරන්න ශක්තියක් නෑ. ගිනි ගොඩක අපි ඉන්නේ. මේ වගාවන් සඳහා සාධාරණයක් කරන්න කියලා තමයි අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.