ඓතිහාසික සෝමාවතිය පුදබිමට ගමන් කරන මාර්ගයේ තම රැළෙන් අතරමංව සිටි මාසයක් පමණ වයසැති අලි පැටියෙකු, පෙරේදා (13) අල්ලා ගත් බව සෝමාවතිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසයි.
සෝමාවතිය පුද බිමට ගමන් කළ පුද්ගලයෙකු මෙම වනඅලි පැටවා සෝමාවතිය සුංගාවිල මාර්ගයේ 31 වෙනි කිලෝමීටර් කණුව අසල රැළෙන් අතරමංව තනිව රැඳී සිටිනු දැක ඇත. ඒ පිළිබඳව පුලස්තිපුර පොලීසියේ නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් පසු එම පොලිස් නිලධාරීන්ගේද සහායෙන් මෙම වනඅලි පැටවා අල්ලාගෙන තිබේ.
ඉන් අනතුරුව සෝමාවතිය වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන්, පුලස්තිපුර පොලීසියේ නිලධාරීන්ගේ හා සෝමාවතිය පුදබිම වන්දනා කිරීම සඳහා ගමන් ගත් පිරිසකගේද සහායෙන් ආරක්ෂිතව අලි පැටියා අල්ලා ගැනීමට සමත් වූහ.
මෙලෙස රැළෙන් වෙන්ව අතරමංව සිටි වනඅලි පැටවා මාසයක් පමණ වයසැති අලි පැටවෙකු බව සෝමාවතිය වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේය. එම අලි පැටවා වැඩිදුර ප්‍රතිකාර සඳහා පෙරේදා (13) ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකය වෙත භාරදීමට සෝමාවතිය වනජීවී නිලධාරීන් විසින් කටයුතු කළහ.