පාදුක්ක, උඩුමුල්ල හරහා ගුරුගොඩ මාර්ගයේ ගල්වලදෙණිය ඇළ මාර්ගය හරහා ඇති පාලම වසර ගණනාවක් තිස්සේ කැඩී ගොස් ඇති අතර මිනිස් ජීවිත අනතුරේ යැයි මහජනතාව පවසති.
පාලම දෙපසින් දළ බෑවුමක් සහිත ස්ථානයක් වන අතර, දෙපසින්ම පහළට එන වාහන පාලම මතින් ගමන් කරයි. මේ වන විට පාලමේ භාගයක් කඩාවැටී ඇති අතර, පටු ස්ථානයක් බවත් ඉතිරිව ඇති කොටසේ ද ගිලාබැසීමක් සහිත ඉරි තැළී තිබේ.
කඩාවැටුණු ස්ථානයට අසලම පිහිටි නිවෙසේ පදිංචි කරුවෙකු වන කේ. මනෝජ් වාසල කරුණාරත්න මහතා මෙසේ පැවසීය.
“දැනට අවුරුදු තුනකට පමණ ආසන්න කාලයක් වෙනවා මේ පාලම කඩාවැටෙන්න පටන් අරන්. දැන් භාගයක්ම කඩාවැටිලා. ඉතිරි කොටසත් ඉරි තළලා. ගිලා බැහැලා. නිතර නිතර මෙම ස්ථානයේ අනතුරු වෙනවා. මේ පාලම වළක පිහිටුවා තිබෙන්නෙ. මේ ළඟදි කාර් රථයක් පල්ලමට ගියා. ජීවිත බේරුණේ පෙර වාසනාවකට.
මේ මාර්ගයේ පාදුක්ක සිට ගුරුගොඩ හරහා හොරණ බස් රථද, පාදුක්ක යටවතුර බස් රථ සේවාවක් ද සිදු වන අතර ඉතා විශාල රථවාහන සංඛ්‍යාවක් දිවා රෑ නොබලා ගමන් කරනව.
මේ පාලම පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරල කඩිනම් පියවරක් ගත්තේ නැත්නම් රට වටේ මේ වන විට අසන්න ලැබෙන බස් රථ අනතුරක් මෙහිදී විය හැකියි.
එම මාර්ගයේ බෙලිඅත්ත විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කරුණාරත්න මාපටුන මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“බස් රථ ධාවනයක් පමණක් නොවෙයි. දිවා රාත්‍රී කාලයේදී දෙකේදීම අතිවිශාල රථවාහන සංඛ්‍යාවක් ගමන් කරන පාරක්. ප්‍රදේශ ගණනාවකට යන්න පුළුවන් පාරක්. පාසල් දරු දැරියන් ඇතුළු ලොකු කුඩා පිරිසකට සෙතක් සලසන පාරක්. මේ ස්ථානයේ යතුරුපැදි අනතුරු බහුලයි. පාලමේ භාගයක් එක් මන්තීරුවක් සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිල. මහාමාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ පොලිතීන් පැලැස්තරයක් යොදල ගිහින්. දැන් ඉතිරි කොටස ඉරිතළලා. ගිලා බැහැලා. රථවාහන පාර විවෘත නිසා යනව එනවා. කොයි මොහොතක හෝ කඩාගෙන වැටෙයි කියල බියක් දක්වනවා. විපතක් වුණාම අපේ රටේ විසඳුම් සොයන්නෙ. මේ පාලම ඉතා පැරණි එකක්. කොටසක් කඩාගෙන වැටුණා වගේම ඉතිරි කොටසත් කොයි මොහොතකදී හරි කඩාගෙන වැටෙයි. රථවාහන ගමන් කරන මොහොතක පාලම කඩාගෙන ඇදවැටුණොත් සිදු වන විනාශය හිතා ගන්න බැහැ.
ඒක නිසා රජයේ වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ මාරකයකට අතවනනා මේ කැඩීගිය පාලමට කඩිනම් පියවරක් ගන්න කියලයි.