ආහාර පනතේ ප්‍රමිති නියෝග උල්ලංඝනය කරමින් පිටි, ලුණු හා කෘත්‍රිම වර්ණක මිශ්‍ර කොට තත්ත්වයෙන් බාල කරන ලද කැබැලි මිරිස් විකිණීම හා අදාළ තොරතුරු ඇතුළත් ලේබලයක් නොමැතිව කැබැලි මිරිස් විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් මීගහකිවුල ප්‍රදේශයේ වෙළෙඳසල් හිමියෙකුට බදුල්ල මහේස්ත්‍රාත්වරයා රුපියල් 22,000ක දඩ මුදලක් නියම කළේය.
මෙසේ දඩ නියම වූයේ මීගහකිවුල, කැටවත්ත අරාවේගෙදර ප්‍රදේශයේ වෙළෙඳසල් හිමියෙකු වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකුටය.
මීගහකිවුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්. ජයකුමාර් මහතා සමඟ තල්දෙන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම්.ටී. සඳරුවන් මහතා විසින් එම බලප්‍රදේශයේ වෙළෙඳසල් පරීක්ෂාවකදී ලබාගත් ආහාරයට නුසුදුසු යැයි සැක සහිත අදාළ කැබැලි මිරිස් සාම්පලයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකොට ලබාගත් වාර්තාවකට අනුව එම කැබැලි මිරිස්වල සියයට 12ක් පිටි, සියයට 6.2ක් ලුණු සහ මිනිස් සිරුරට අහිතකර කාමොසින් (Carmoisine- E122) නම් වර්ණකයද අන්තර්ගත බව අනාවරණය වීම මත අදාළ සැකකරුට එරෙහිව නඩු පවරා තිබිණි.