ලුණුගල ගොවිජන සේවා බලප්‍රදේශයට අයත් මැටිගහතැන්න හා එගොඩවෙල වෙල් යායවල ශීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹු උවදුර හේතුවෙන් එම වෙල්යායන්හි අක්කර ගණනාවක කිරිවදින ගොයම බොල්වෙමින් පවතින බව ගොවීහු පවසති.
රෝගී තත්ත්වයට මුල් වූ සේනා දළඹුවන් ගොයම් ගසේ ගොබය තුළ බිත්තර දමමින් ළපටි ගොබය හා පත්‍ර කා දමන බවද වී ඇටවල යුෂ උරා බොන බවද ගොවීහු පවසති.
වෙෙළඳපොළේ ඇති කෘෂි රසායනවලින් මෙම පණුවන් හා කීඩෑවන් නිසි ලෙස මර්දනය කළ නොහැකි බවද ගොවි ජනතාව පවසති.
ඩබ්ලිව්. එම්. කරුණාරත්න, “මහත්තයෝ, අපි ජීවත්වෙන්නේ ගොවිතැනින්. අපි හේනක් කුඹුරක් අස්වද්දලා තමයි ජීවත් වෙන්නෙ. අපිට වෙන රස්සා නෑ. ආදායම් මාර්ගත් නෑ. ඒ හින්දා කරන ගොවිතැන හරියටම හොයලා බලල කරනවා. ඒ හින්දා තමයි අපිට අපේ වගාවකට මොකක් හරි හැදුනොත් හිතට දැනෙන්නේ. මම මේ සැරේ වී දෙතුන් පෑලක් වගා කරා. මේ වන විට වගාවට සේනා දළඹුවො බෝවෙලා. කොහෙන් ආවද දන්නේ නැහැ. ගොයම් ගස් හිටි ගමන්ම කහ පාට වෙලා මැරිලා යනවා. ඒ මොකද කියල හොයලා බලද්දි තමයි මේ ලෙඩේ හොයාගත්තේ.
කිරිවදින ගොයමෙ වී ඇට මිරිකනකොට කිරි එළියට එනවා. හැබැයි මේ වී ඇට මිරිකද්දී කිසිම දෙයක් නෑ. ඔක්කොම වේළිලා පොතු වගේ වෙලා තියෙන්නේ.”
ඩී.එන්. සුමනරත්න, “ගොයම් ගස්වල ඉන්න පණුවෝ අළු පාටයි. අඟලක් විතර දිගයි. මේ පණුවන්ගෙ ඔළුව කළු පාටයි. ගොයම් ගස්වල මුල කොටසේ තමයි ඉන්නේ. මුල ඉඳගෙන ගොයම් ගහ කාලාම දානවා. ඊට පස්සේ ගහ කහපාට වෙලා මැරිල යනවා. හරියට ප්‍රතිකාරයක් කරගන්න බැරි වුණොත් සතියක් දෙකක් යද්දී මුළු වගාවම විනාශ වෙන්න වුණත් පුළුවන්.
පීදෙමින් පවතින ගොයමෙ තමයි මුන් බෝවෙන්නේ. ඉක්මනට රෝගය පැතිරෙනවා. කහ වෙච්ච ගොයම් ගස් කඩල බැලුවොත් ඒ වගේ මුල් කොටස්වල මේ පණුවෙක් දෙන්නෙක් හොයාගන්න පුළුවන්. ගොයම් කොළවලත් ඉන්නව.
පහුගිය දවස්වල දිගින් දිගටම වැස්ස ආවා. මිනිස්සුන්ට හරියට වගාව බලාගන්න කුඹුරට යන්නවත් ක්‍රමයක් තිබුණේ නැහැ. ඔය අතරේ තමයි මේ පණු රෝගෙ වැඩියෙන්ම බෝවෙන්න පටන් ගත්තේ. කොහොම වුණත් අපි කඩේ තියෙන එක එක බෙහෙත් ගෙනල්ල වගාවට ගහනවා. හැබැයි හරියට මර්දනය කරගන්න බෙහෙතක් නැහැ. මේ හින්දා සමහර වෙලාවට අපිට බලාපොරොත්තු වන අස්වැන්න ගන්න බැරි වෙයි කියලා ගොවියා තුළ පුදුම බයක් තියෙන්නේ.”
මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කුමක්දැයි අපි මඩොල්සිම කලාපය ආවරණය කරන කෘෂිකර්ම උපදේශක ෂාන් වකූර් මහතාගෙන් විමසුවෙමු. ඔහු මෙසේ පවසා සිටියේය.
“මෙම ප්‍රදේශවල ගොවිතැන් කරන සෑම කෙනෙකුටම අපි වගාවේදී ඇතිවන පළිබෝධ සහ විවිධ රෝග පිළිබඳව මෙන්ම ඒවාට අවශ්‍ය විසඳුම් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් කරනවා. කන්නයක් පාසාම මෙම දැනුම්වත් කිරීම් සාමාන්‍යයෙන් සිදුවෙනවා. ගොවි ජනතාවත් ඒ අවශ්‍ය පිළියම් බොහෝදුරට දන්නවා. විශේෂයෙන්ම මේවා ගොවි සංවිධාන හරහා තමයි ක්‍රියාත්මක වන්නේ.
ඒ වගේම මම ගොවි ජනතාවට දැනුම් දී තිබෙනවා සතියකට වතාවක් හෝ වගා බිම්මල යම් රෝග තත්ත්වයක් තියෙනවා නම් කාර්යාලයට පැමිණ හෝ දුරකතන මඟින් දැනුම්වත් කරන්න කියලා. හැබැයි මට මේ වනතුරුත් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක් කරලා නෑ. කොහොම වෙතත් සේනා උවදුර පසුගිය කාලෙත් තිබුණා. වර්ෂාවත් එක්ක රෝගය යම් තරමකට හිස ඔසවනවා. හැබැයි අප සම්බන්ධ කරගෙන මෙම රෝගය මර්දනය කිරීමට අවශ්‍ය ප්‍රතිකර්ම ලබා ගන්න ගොවි ජනතාවට අවශ්‍ය තරම් පහසුකම් සලසලා තියෙනව.”