හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කහගොල්ල රංජල්ලාව ප්‍රදේශය හරහා පෙරේදා (13) දින පස්වරු හමාගිය දැඩි සුළං තත්ත්වයක් නිසා නිවාස 20කට පමණ හානි සිදුව ඇති බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේය.
මෙය ටොනේඩෝ තත්ත්වයක් බව වර්තා වන අතර එහි බලපැම නිසා නිවාසවල වහලයන් සෙවිලි කර තිබූ සෙවිලි තහඩු ගැලවී ගොස් ඇති අතර හරිතාගාර කිහිපයකට ද හානි සිදුව ඇති බවත් විදුලි රැහැන් පද්ධතියට ගස් කඩාවැටීමෙන් හානි සිදුව ඇතැයිද හපුතලේ ආපදා සහන සේවා අංශය සඳහන් කළේය.
මේ පිළිබඳව අදහස් පළකළ ගම්වාසීන් පවසා සිටියේ “ඊයේ හවස එකපාරටම ආපු සුළඟ එක්ක වැස්සක් ආවා. ඒ එක්කම අපේ ගෙවල්වල වහල එම සුළඟට හසුවීමෙන් ඒවායේ සෙවිලිෂීට්, සෙවිලි තහඩු ගලවාගෙන ගියා. ගෙවල් විස්සකට වගේ හානි වුණා. ඒ වගේම ගමේ ප්‍රජාශාලාවේ වහලයත් සුළඟට ගහගෙන ගියා. පාරට හා පහළින් තියෙන කුඹුරුවලට ගස් කඩාගෙන වැටුණා. කරන්ට් ලයින් එකට ගස් වැටීම නිසා විදුලි බලය ඇන හිටියා. ඒ වැස්ස සුළඟ නතර වෙනවාත් එක්කම අයිස් වැස්සක් නැවත ඇදහැළුනා” යැයි පැවසීය. මේ පිළිබඳව අප කළ විමසීමකදී හපුතලේ ප්‍රාදේශීය ලේකම් ගයානි රණතුංග මහත්මිය පවසා සිටියේ පෙරේදා (13) පස්වරු කහගොල්ල රංජල්ලාව ප්‍රදේශය හරහා හමාගිය අධික සුළං හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ තත්ත්වය පරීක්ෂා කිරීම හා නිවාස හානි තක්සේරු කිරිමේ කටයුතු ඊයේ (14) පෙරවරු, ආපද සහන සේවා අංශය හා ග්‍රාම නිලධාරි එක්ව ආරම්භ කළ අතර නිවාස විස්සකට ආසන්න ප්‍රමාණයකට ඉන් හානි සිදුව ඇති ආකාරයක් දක්නට ලැබෙන බව පවසයි. “ඉන් සමහර නිවාසවල වහලයන් මතට ගස් කඩාවැටී ඇති ආකාරයක්ද දක්නට ලැබෙනවා. ඒ වගේ මෙම හදිසි තත්ත්වය නිසා මෙම ප්‍රදේශයට විදුලිය ඇන හිටීමක්ද ඒ අවස්ථාවේ දීම සිදුව තිබුණා. එම විදුලි බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ද දියතලාව විදුලි අධිකාරි කාර්යාලය මඟින් මේ වන විට ආරම්භ තිබෙනවා.”
මෙම හදිසි තත්ත්වයෙන් පීඩාවට පත් අයගේ නිවාසවලට සිදුව ඇති හානි පිළිබඳව නිවැරැදිව තක්සේරු කටයුතු සිදුකර එම වාර්තා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ලබාදී ඔවුන්ගේ නිවාස යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය වන්දි මුදල් කඩිනමින් එම පවුල් වෙත ලබා දීමට කටයුතු කරන බවද දිස්ත්‍රික් ලේකම් ගයානි රණතුංග මහත්මිය තවදුරටත් සඳහන් කළේය.