නුවරඑළියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිවුදෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව වලපනේ පොලීසියේ නිලධාරියෙකු පැවසීය.
පෙරේදා (13) පස්වරු 6:00 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑළිය වලපනේ ප්‍රධාන මාර්ගයේ මහඌව වංගුව ප්රදේශයේදීය.
මඩකලපුව ප්රදේශයේ සිට නුවරඑළිය ප්රදේශයේ සංචාරයක පැමිණ ආපසු මඩකලපුව දක්වා එම පිරිස රැගත් බස් රථය ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ ඉදිරිපස වම් රෝදය ගැලවී යාමෙන් පසු බස් රථය රියැදුරුගේ පාලනයෙන් මිදී බස් රථය මාර්ගයේ වම් පස කන්දක ගැටී නතර වී ඇත.
බස් රථය අනතුරට පත් ස්ථානය අධික බෑවුම් සහ වංගු සහිත මාර්ගයක් බවත්, එම ස්ථානයේ මීට පෙර බරපතළ රිය අනතුරු ගණනාවක් සිදු වී ඇති බවත් ප්රදේශවාසීහු පවසා සිටිති.
බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 60 දෙනකු පමණ සිටි බව ප්රදේශවාසීන් පවසා සිටියේය.
අනතුර පිළිබඳ වලපනේ පොලීසියේ පරීක්ෂණ පවත්වයි.