ලබන වසරේ ජනවාරි මාසයේ පාකිස්තානයේදී ආරම්භවීමට නියමිත 14 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට ඉන්දියාවේ සහභාගිත්වය සැක සහිත හෙයින් එය නියමිත පරිදි පවත්වාගෙන යෑම අසීරුවනු ඇතැයි දකුණු ආසියානු රටවල ක්‍රීඩා බලධාරීහු අනතුරු අඟවමින් සිටිති. යුද ගැටුම් වාතාරණයක් තිබියදී ක්‍රීඩා උලෙළට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු මතුවන හෙයින් ක්‍රීඩා උලෙළ පාකිස්තානයේදී පැවැත්වීම අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.
වසර දෙකකට වරක් පැවැත්වීමට නියමිත දකුණු ආසියාවේ ‘පුංචි ඔලිම්පික් උලෙළ’ 2019න් පසු වසර 6ක් ගෙවීයද්දී මේ වනතෙක් පැවැත්වීමට පාකිස්තානය අපොහොසත්ව සිටියි. මේ හේතුවෙන් කලාපයේ නැඟී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බලවත් අසාධාරණයක් සිදුවෙමින් පවතින අතර, පාකිස්තානය සත්කාරකත්වයෙන් ඉල්ලා අස්වී වෙනත් රටකට පැවැරීම යෝග්‍ය බවට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතියි. ක්‍රීඩා උලෙළ දිගින් දිගටම කල්යෑමෙන් කලාපයේ රටවල් 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2500කට පමණ විශාල අසාධාරණයක් සිදුවන බවත්, දක්ෂතා අතර සිටින එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වයසට යෑමෙන් සිදුවන අසාධාරණය සැලකිල්ලට ගතයුතු බවත් පෙන්වා දේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය, භූතානය හා මාලදිවයින යන දකුණු ආසියානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු මේ තත්ත්වය මත සුන්වී ගොස් තිබේ.
වසර 2022දී පාකිස්තානයේ ලාහෝර්, සියල්කෝට් සහ ෆයිසලාබාද්හි කේන්ද්‍රකොට පැවැත්වීමේ අදහසින් 2019දී කත්මණ්ඩු ක්‍රීඩා උලෙළේදී සත්කාරකත්වය පිරිනැමුණද, මුදල් නැති බව පවසා එම වසරේ ක්‍රීඩා උලෙළ පැවැත්වීමට නොහැකි බව පාකිස්තාන ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළේය.
අනතුරුව හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා උලෙළේ ප්‍රධාන තරග ඉසව් පැවැත්වෙන ආකාරය පිළිබඳ සැලසුමක් ගොඩනැඟුණු අතර, වත්මන් රජය එම තීරණ සියල්ල ඉවත දමා 2024දී ක්‍රීඩා උලෙළ පවත්වන බව පැවසීය. එම වසරේ පැවැත්වීමට නොහැකි වූ අතර, පසුගිය මාසයේ පැවති දකුණු ආසියානු ඔලිම්පික් කමිටු මහ සභාවේදී ක්‍රීඩා උලෙළ 2026 වසරේ ජනවාරි මාසයේ පවත්වන බවට ප්‍රකාශයක් නිකුත් කළේය.
පාකිස්තානයේ ඉස්ලාමාබාද්හිදී දකුණු ආසියා ක්‍රීඩා උලෙළ වසර 1989 සහ 2004 දී සාර්ථකව පැවති අතර, එය ක්‍රීඩා 15කට සීමාවී තිබිණි. එහෙත් 2026දී පැවැත්වීමට යෝජිත දකුණු ආසියා ක්‍රීඩා උලෙළට ක්‍රීඩා 37ක් ඇතුළත්කොට ඇතැයි පාකිස්තාන ඔලිම්පික් කමිටුව සඳහන් කළේය.
අවසන් වරට 2019දී නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග ඉසව් 27ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 605ක් සහභාගිවී රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 84ක් හා ලෝකඩ පදක්කම් 128ක් දිනා ගත්හ. එම ක්‍රීඩා උලෙළේදී ඉන්දියාව රන් පදක්කම් 175ක්, රිදී පදක්කම් 92ක් හා ලෝකඩ පදක්කම් 45ක් දිනාගත් අතර, නේපාලය රන් පදක්කම් 51ක්, රිදී පදක්කම් 60ක් හා ලෝකඩ පදක්කම් 96ක් දිනා ගත්තේය.