ශ්‍රී ලංකාවේ යොවුන් බොක්සිං ක්‍රීඩක යස්මින් උසෙයිත් ආසියානු අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශුරතාවලියේ කිලෝග්රෑම් 75 බර පන්තියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට ඊයේ සමත් විය.
මේ තරගාවලියේ ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් වන යස්මින් සවුදි ක්‍රීඩක අල්මව්ලාද් නයිෆ් පරාජය කරනු ලැබුවේ විනිසුරුවරුන්ගේ ඒකමතික තීන්දුවෙනි. ආසියානු බොක්සිං සම්මේලනය සහ ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ මෙහෙයවීමෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ බොක්සිං වළල්ලේ පැවැත්වෙන ආසියානු අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශුරතාවලියේ තුන්වැනි දිනය වූ ඊයේ ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්රීඩිකාවන් පස්දෙනකු බොක්සිං වළල්ලට පිවිසි අතර, ඉන් දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට සමත් වූයේ ද යස්මිත් උසෙයිත් පමණි.
කිලෝග්රෑම් 67 බර පන්තියේ තරගයේදී ජී.වී.එච්. ජයසිංහ සවුදි ක්‍රීඩක අල්කාසිමි ඉස්මායිල් හමුවේ පරාජයට පත්වූ අතර, කසකස්තානයේ කාදර් අගාසාන් සමඟ පැවති කිලෝග්රෑම් 71 බර පන්තියේ තරගයෙන් කේ.ජී.එම්. බණ්ඩාර පරාජයට පත්විය. කිලෝග්රෑම් 86 බර පන්තියේ තරගයෙන් නවසීලන්තයේ විනී රෝමන් හමුවේ ඒ.ජී.එම්. බණ්ඩාර පරාජයට පත්වූ අතර, ලෝගනාදන් කජින්තිනී කිලෝග්රෑම් 57 බර පන්තියේ කාන්තා තරගයේදී ඉන්දියාවේ එන්. නැන්සි හමුවේ පරාජයට පත්වූවාය.