ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය හෙට (16) ආරම්භ වෙයි.
ලබන මස 9 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩා සමාජ 14ක් එක් වන අතර, ඒවා මූලික වටයේදී ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ 2කින් තරග වැදීමට නියමිතය.
අවසන් වරට පැවති තරගාවලියේ ශූරයන් වූ එන්සීසී ක්‍රීඩා සමාජය ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර, එවර අනුශූරයන් වූ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය ‘බී’ කාණ්ඩයෙන් තරග වදියි.
පසුගිය වසරේ තරගාවලිය නියෝජනය කළ ප්‍රබල එස්එස්සී ක්‍රීඩා සමාජය සමඟ රාගම, කැන්ඩි කස්ටම් සහ මීගමුව ක්‍රීඩා සමාජවලට මෙවර පළමු පෙළ තරගාවලිය අහිමි වී තිබේ.
මූලික වටයේ තරග ජුනි 3 වැනිදා දක්වා පැවැත්වෙන අතර එම වටය අවසානයේ ඒ ඒ කාණ්ඩවල පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් අර්ධ අවසන් පූර්ව වටයට එක්වනු ඇත. එම තරග ජුනි 5 වැනිදාත්, අවසන් පූර්ව වටයේ තරග ජුනි 7 වැනිදාත් පැවැත්වෙන අතර, අවසන් මහ තරගය ජුනි 9 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ. අවසන් මහ තරගය පෙරවරුවේ පැවැත්වීමට නියමිත අතර, වර්ෂාවෙන් තරගයට බාධා වුවහොත් එය එදිනම සවස් වරුවේ පැවැත්වීම වෙනුවෙන් ද අතිරේක කාලයක් වෙන් කිරීමට ද කටයුතු කර ඇත.
තරගාවලිය ආරම්භ වන හෙට (16) පොලීසිය – බීආර්සී (කෝල්ට්ස්), ඒස් කැපිටල් – සීසීසී (පී. සරා) සහ කුරුණෑගල යූත් – එන්සීසී (සීසීසී) පෙරවරු 9.45ටත්, නුගේගොඩ – බ්ලූම්ෆීල්ඩ් (කෝල්ට්ස්), පානදුර – මුවර්ස් (පී. සරා) සහ ටැමිල් යූනියන් – කෝල්ට්ස් (සීසීසී) පස්වරු 2.00ටත් තරග වැදීමට නියමිතය.
තරගාවලියට එක්වන කණ්ඩායම්
‘ඒ’ කාණ්ඩය – එන්සීසී, මුවර්ස්, සීසීසී, ඒස් කැපිටල්, පානදුර, බදුරලිය, කුරුණෑගල යූත්
‘බී’ කාණ්ඩය – බ්ලූම්ෆීල්ඩ්, බීආර්සී, කෝල්ට්ස්, ටැමිල් යූනියන්, පොලීසිය, හලාවත මේරියන්ස්, නුගේගොඩ