Friday, May 16, 2025
Home » දූෂණ-වංචා සොයන්න විමර්ශන ඒකක
පළාත් සභා සහ පළාත් පාලන ආයතන

දූෂණ-වංචා සොයන්න විමර්ශන ඒකක

ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලීමට ජනපති අනුමැතිය

by mahesh
May 16, 2025 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා මැඬීමේ විමර්ශන ඒකක පිහිටුවීමට රජය තීරණය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන් ඊයේ (15) හමු වූ අවස්ථාවේදී මේ සඳහා අනුමැතිය ලබා දුන්නේය.

දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුළද ස්ථාපිත කිරීමට මෙම සාකච්ඡාවේදී ආණ්ඩුකාරවරු කළ ඉල්ලීම අනුව ජනාධිපතිවරයා මෙසේ අනුමැතිය ලබා දුන්නේය.

පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය හා ඒ සඳහා තිබෙන අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එම ගැටලුවලට සාධනීය පිළියම් ලබාදීමට ද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගත්තේය. පළාත් සභා සඳහා පසුගිය වසරට වඩා තුන් ගුණයක් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බැවින් මේ වසර තුළ එම ප්‍රතිපාදන භාවිත කිරීමේදී පවතින අභියෝග පිළිබඳ ආණ්ඩුකාරවරු ජනාධිපතිවරයා දැනුම්වත් කළහ. එම ප්‍රතිපාදන විධිමත් අයුරින් කළමනාකරණය කිරීමේ වැදගත්කම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණකුලසූරිය මෙම අවස්ථාවට එක්වූහ.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT