Friday, May 16, 2025
Home » අපනයන ආදායම වැඩිකිරීමේ ජාතික සැලැස්මක්

අපනයන ආදායම වැඩිකිරීමේ ජාතික සැලැස්මක්

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ

by mahesh
May 16, 2025 1:01 am 0 comment

– අපනයන ආදායම 2030 වනවිට රු. බිලියන 36 කිරීමේ අපේක්ෂාවක්

වත්මන් රජයේ ප්‍රමුඛ අභියෝගය අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ඒ වගකීම දරන ප්‍රමුඛතම ආයතනය අපනයන සංවර්ධන මණ්ඩලයයි. අපනයනය වර්ධනය සඳහා ආණ්ඩුවේ ඉදිරි සැලසුම හා සූදානම පිළිබඳව එහි සභාපති මංගල විජේසිංහ සමඟ කළ සංවාදයකි.

ආනයන හා අපනයන ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ඔබලත් පරිචය රාජ්‍ය අංශයට ගෙන ඒම අභියෝගයක් නොවේද?

මගේ වෘත්තීය පරිචය හා අත්දැකීම් ජයග්‍රහණ බොහොමයක් පෞද්ගලික අංශයෙන් ලබාගත් බව සැබෑවක්, තවදුරටත් අපිට රාජ්‍ය පෞද්ගලික වශයෙන් බෙදී රටට අවැසි කඩිනම් හා තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළඟාවිය නොහැකියි. පෞද්ගලික අංශය සෑමවිටම කටයුතු කරන්නේ ඉලක්කගත ආදායමක්, සංවර්ධනයක් අපේක්ෂාවෙන්. අපනයන සංවර්ධනයේ සෑම අංශයක්ම ඉලක්කගත වැඩපිළිවෙළකට යොමු කිරීම දැනටමත් අරඹා අවසන්.

රාජ්‍ය අංශයේ සෑම විටම නීති හා නියාමන මතයි කටයුතු කරන්නේ. නමුත් ඇතැම් තීරණ ඉතාමත් කඩිනමින් ගතයුතු වෙනවා. උදාහරණයක් විදිහට රාජ්‍ය අංශයේ කාර්ය සාධනය මැනීම සඳහා විශේෂිත ක්‍රියාපටිපාටියක් ඇත්තේ නෑ, නමුත් පෞද්ගලික අංශය සෑමවිටම එකිනෙකාට වෙන වෙනම ඉලක්ක ලබාදෙමින් ඒ ඉලක්ක වෙත ලඟාවීමේ දක්ෂතාව අනුව කාර්ය සාධනය මැනීමේ වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ අනුව ආයතනය අපේක්ෂිත මට්ටම, අපේක්ෂිත මට්ටම ඉක්මවායාම හා ආයතනික මට්ටමින් ඉහළම කාර්ය සාධනයක් ලබාදී ඇති සුවිශේෂී දක්ෂතාවන් පෙන්වන සේවකයින් වශයෙන් කොටස් කිහිපයකට බෙදනවා. එසේ ඉහළම කාර්ය සාධනයක් ලබාදුන් අයගේ තත්ත්වය තවත් වැඩිකිරීම සඳහා අවශ්‍ය පුහුණුවීම් ලබාදීම, අඩු කාර්යසාධනයක් ලැබූ කෙනෙක් සිටීනම් ගැටලුව හඳුනා ගැනීම හා එවැනි අයට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම ආදී වශයෙන් මානව සම්පත් ඉතාමත් සූක්ෂ්ම අයුරින් කළමනාකරණය කෙරෙනවා. මේ තත්ත්වය රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක කිරීම යම් ගැටලු පැවතියත් ඉලක්ක ජය ගැනීම සඳහා අප ආයතනය සතු සෑම අංශයකම ක්‍රියාත්මක එකම අරමුණක් වෙනුවෙන් සැලසුම්ගත වැඩපිළිවෙළකට අනුගත කර තිබෙනවා.

ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම සඳහා අපනයන ආදායම තීරණාත්මක සාධකයක් ?

අපනයන සංවර්ධන මණ්ඩලය 1979 දී විශේෂ පනතකින් පිහිටවූ ආයතනයක්. මෙහි අරමුණ අපනයන සංවර්ධනය සහ ඊට ඇති බාධක ඉවත් කිරීමයි. 2015 දී අපනයන ආදායම ඩොලර් බිලියන 13.3යි. 2023 රටක් විදිහට අප ලද අපනයන ආදායම ඩොලර් බිලියන 15යි. එයින් පැහැදිලි වෙන්නේ වසර 08කදී අපනයන වැඩිවීම ඩොලර් බිලියන 1.7ක් බවයි.

මේ තත්ත්වය කෙතරම් නරක තත්ත්වයක් දැයි අනාවරණය වෙන්නේ කලාපයේ බොහොමයක් රටවල් අපනයන ආර්ථිකය ඉතාමත් ශක්තිමත් පදනමක් සකසා තිබෙන පසුබිමකයි. 1995 වසරේදී වියට්නාමයත් ශ්‍රී ලංකාවත් තිබුණේ එකම අපනයන ආර්ථික මට්ටමක නමුත් ඔවුන්ගේ අපනයන ශක්‍යතා ක්‍රමෝපායන් කිහිපයක් ඔස්සේ වේගයෙන් වර්ධනය කළා.

නිදහස් වෙළෙඳ ගිවිසුම්, ද්වි පාර්ශ්වික ගිවිසුම් මෙන්ම භාණ්ඩ පදනම් කොටගත් ගිවිසුම් මඟින් ගෝලීය වෙළෙඳ ප්‍රවාහයේ කොටසක් වීමට සමත්වී තිබෙනවා. මේ වනවිට වියට්නාමය ගෝලීය වෙළෙඳපොළ සඳහා 6%ක දායකත්වයක් දක්වනවා.

අපනයන සංවර්ධන මණ්ඩලයේ අරමුණු පදනම් වෙන්නේ ආණ්ඩුවේ ඉදිරි සැලසුම් මතයි. දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් 80% සපුරන්නේ අපනයන ආදායමයි. මේ වනවිට ඩොලර් බිලියන 7ක් බවට පත්කර ඇති විදේශ සංචිත ප්‍රමාණය 2028 වනවිට ඩොලර් බිලියන 13 -15ක් අතර ප්‍රමාණයකට වැඩිදියුණු කිරීම ආණ්ඩුවේ අභිලාසයයි. 2024 දී අපනයන ආදායම වුණේ ඩොලර් බිලියන 15යි. එය මේ වසර අවසන් වනවිට ඩොලර් බිලියන 18.2ක් වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඉදිරි වසර 5දී අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් බවට පත්කිරීමයි අපගේ අරමුණ. ඒ අරමුණු සාම්ප්‍රදායිකව කොළයක කළ සටහනක් පමණක් නොවේ. අපේ සියලු සැලසුම් සමපාත වෙන්නේ එය ඉටුකිරීම වෙනුවෙන් මයි.

අපනයන ඉලක්ක ජය ගැනීමේ සැලසුම සැකෙවින් පැහැදිලි කළ හැකිද?

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සැලකිය යුතු මුදලක් සේම කාලයක් වැයකොට සංවර්ධන සැලසුමක් සකසා තිබෙනවා. මෙම සැලසුම මූලික වශයෙන් අංශ කිහිපයකට බෙදෙනවා.

පළමුවැන්න අප සතු හැකියාවන් හඳුනා ගැනීම. දෙවැන්න අප සතු දුර්වලතා හඳුනා ගැනීම. කඩිනමින් දියුණු කළ හැකි අංශ වෙත ප්‍රවේශවීම හා අත්‍යවශ්‍ය වෙනස්කම් කරමින් අපනයන ක්‍රියාවලියට ඇති බාධා ඉවත් කිරීම. අපනයනය සැමට සමීප ක්ෂේත්‍රයක් බවට පත්කරමින් අපනයන සංස්කෘතියක් ඇති කිරීම.

මේ සඳහා කළ වෙනස්කම් මොනවාද?

අපනයන සංවර්ධන මණ්ඩලය පිහිටුවීමෙන් අනතුරුව ඒ කාර්යයන් කඩිනම් කිරීමට අපනයන සංවර්ධන අමාත්‍ය සභාව වසරකට තෙවතාවක් රැස්විය යුතුයි කියා පනතේ සඳහන් වෙනවා. මෙම කමිටුව රැස්වෙන්නේ ජනාධිපතිතුමා, කර්මාන්ත ඇමැති, වෙළෙඳ, කෘෂිකර්ම, අපනයන කෘෂිකර්ම, ගුවන්සේවා, පොල් සංවර්ධන, වරාය, ගුවන්සේවා, ධීවර ආදී අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ ඇමැතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන්. නමුත් මේ රැස්වීම 1993න් පසුව රැස්වී තිබුණේ නෑ. පනතින් මෙවැනි හමුවක් සැලසුම් කර තිබෙන්නේ අපනයන ක්‍රියාවලියට ඇතිවන බාධාවන් හඳුනාගෙන ඒවා කඩිනමින් ඉවත් කර ගැනීමට පියවර ගැනීමයි.

මේ වසරේ ජනවාරි 10 වැනිදා රැස්වුණා. ඒ රැස්වීමට ප්‍රථම අපි අපනයනකරුවන් සමඟ සාකච්ඡා කර ඔවුන් මුහුණදෙන ගැටලු සහ මේ ක්‍රියාවලිය පහසු කිරීමට ඔවුන්ගේ යෝජනා හඳුනා ගත්තා. එම යෝජනා අදාළ අංශ වෙත රැස්වීමට පෙර ඉදිරිපත් කළා. ඒ අනුව ඔවුන් මේ හමුවට පැමිණිය යුත්තේ ගැටලු සඳහා පිළිතුරුත් සමඟයි. මේ කටයුත්ත ඉතාමත් සාර්ථකයි. අපේ අපේක්ෂාව වසර 2ක් ගත වනතුරු වසරකට තෙවතාවක් රැස්වී බාධාවන් කඩිනමින් ඉවත් කිරීමයි.

උදාහරණයක් විදිහට අපේ රටට ආයෝජකයෙක් පැමිණ තමන්ගේ ආයෝජනය ඇරඹීමට හැකිතාක් බාධාවන් අඩුකිරීම කළ හැකියි.

ඔබ පැවසුවා අප සතු හැකියාවන් සහ දුබලතාවන් හඳුනාගත් බව?

අපනයන සංවර්ධනය සඳහා අපිට නව වෙළෙඳපොළ වෙත ප්‍රවේශ විය හැකියි. අප්‍රිකානු රටවල්, ආසියාන් රටවල් මෙන්ම මැදපෙරදිග කලාපයේ අපට වැඩි අවස්ථාවක් ලබාගත හැකියි. අපනයන ක්ෂේත්‍රයේ ඇඟලුම් අපේ ප්‍රමුඛ අංශයක් වුණත් අපේ වෙළෙඳපොළ යුරෝපයට පමණයි සීමාවී තිබෙන්නේ. යුරෝපයේ වෙළෙඳාම කරන අතරේ අපි වෙනත් වෙළෙඳපොළ පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.

ලෝකයේ ආහාර වෙළෙඳපොළ ඉතා විශාලයි. ඒ වගේම හරිත ආහාර සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනවා. දැනටමත් අපේ රටින් මේ සඳහා ඩොලර් මිලියන 500ක් පමණ අපනයනය කරනවා. මේ සඳහා කඩිනමින් අපේ අයට ප්‍රවේශවීමේ හැකියාව තිබෙනවා. ඉදිරියේදී පළාත් මට්ටමින් අපනයන ගම්මාන සංකල්පයත් ඇති කිරීමට නියමිතයි. එහි ප්‍රමුඛ අංගයක් කළ හැකියි.

මෙරට අපනයන ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස ඉතාමත් අඩු ප්‍රමාණයක්. 4500ක් පමණ බවයි ලේඛනගත වී සිටින්නේ. අපනයන ආදායමෙන් 80%ක්ම ලබාදෙන්නේ මේ පිරිස අතරින් 10%ක පිරිසක්. අපනයනකරුවන් අතරින් 48% පිරිසක් දායක අපනයන ආදායමෙන් 0.29ක් සඳහා පමණයි දායක වෙන්නේ. අපගේ අපනයන ක්‍රියාවලිය සඳහා දායකවෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පිරිස ඉතාමත් අඩු ප්‍රමාණයක්. ඉන්දියාව, තායිලන්තය, චීනය, වියට්නාමය මේ සුළු හා මධ්‍ය පරිමාණ දායකත්වය ඉතාමත් ඉහළයි. මේ පිරිස වැඩිදියුණු කිරීම මූලික ඉලක්කයක්. දැනට අපනයනය සඳහා දායක වන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රමාණය 4.2% ප්‍රමාණය 2030 වනවිට 30% දක්වා ඉහළ දැමීමයි ඉලක්කය.

ඒ සඳහා ප්‍රදේශීය මට්ටමින් සැලසුමක් ක්‍රියාත්මක වෙන බව ඔබ සඳහන් කළා?

දැනටමත් මහනුවර, කුරුණෑගල, අනුරාධපුරය, යාපනය අපගේ ප්‍රාදේශීය කාර්යාල පිහිටුවා තිබෙනවා. ඒ වගේම රට පුරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලවල අපගේ නිලධාරියෙක් සේවය කරනවා. ඔවුන්ට ලබාදී ඇති ඉලක්කය ප්‍රදේශයේ අපනයන කර්මාන්තකරුවන් බවට පත් කළ හැකි ව්‍යවසායකයන් හඳුනා ගැනීමයි. ඔවුන් මෙම ක්‍රියාවලියට අනුගත කිරීමට අවැසි උපදෙස් හා මඟ පෙන්වීම ලබාදීමයි.

ගෝලීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශය සඳහා රටක් ලෙස පියවර ගත යුතුයි නේද?

ඒ සඳහා කළ යුතු කළ හැකි රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් බොහොමයි. නිදහස් වෙළෙඳ ගිවිසුම්, තීරුබදු අඩු කිරීම සහ ඉවත් කිරීම, ගෝලීය නිෂ්පාදන දාමයේ කොටස්කරුවෙකු වීම. විශේෂයෙන් තොරතුරු තාක්ෂණික සේවා මෙන්ම විදත් උපකරණ නිෂ්පාදනයේදී මෙම අංශයෙන් ඉහළ දායකත්වයක් ලබාගත හැකියි. මෙපමණක් නොවේ අපි මේ වනවිට විදෙස් රටවලට යවා ඇති තානාපතිවරුන් වෙත අපනයන සංවර්ධනය වෙනුවෙන් වැඩ සැලැස්මක් දී තිබෙනවා. ආයෝජකයින් සෙවීම, මෙරට නිෂ්පාදන සඳහා ගැනුම්කරුවන් හඳුනා ගැනීම, වෙළෙඳ ප්‍රදර්ශන සංවිධානය කිරීම වැනි අරමුණු රැසක් ඔවුන්ට ලබාදී තිබෙනවා.

පවතින පසුබිම අරමුණු ජය ගැනීමට හේතුවේ යැයි හිතනවාද?

ඇත්තෙන්ම මේ තමා හොඳම අවස්ථාව. දේශපාලන මෙන්ම ආර්ථිකව රට ස්ථාවර තත්ත්වයක පසුවෙනවා. දූෂණය වංචාව මුළුමනින්ම අවසන්වී තිබෙනවා. විදෙස් සංචාරකයින් පැමිණීම් පවා ඉහළ යමින් තිබෙනවා. මේ ඉලක්ක වෙත හඹා යාමට හොඳම පසුබිමක් ඇති කාලයක්. දැන් ඉතිරිවී තිබෙන්නේ නොපමාව වැඩ කිරීමයි.

සටහන

බුද්ධිකා බ්‍රාහ්මණගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT