Friday, May 16, 2025
Home » දූෂිත දේශපාලකයන්ට රතු එළි පෙන්වූ ජපන් තානාපතිගේ කතාව

දූෂිත දේශපාලකයන්ට රතු එළි පෙන්වූ ජපන් තානාපතිගේ කතාව

by mahesh
May 16, 2025 1:00 am 0 comment

මීට පෙර පැවති පාලන කාලසීමාවල ශ්‍රී ලංකාවේ විවිධ ආයෝජන ව්‍යාපෘති කරගෙන යෑමේදී දේශපාලනඥයන් ඇතුළු නිලධාරි පෙළැන්තිය අල්ලස් ඉල්ලූ බවට වන බරපතළ ආන්දෝලනාත්මක චෝදනාවක් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා විසින් පසුගියදා හෙළිකරනු ලැබීය.

ජාත්‍යන්තර දේශපාලනය පාර්ශ්වයෙන් සලකා බලන කල මෙය ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික විනිවිදභාවය පිළිබඳව බරපතළ කළු පැල්ලමක් මතුකරවනු ලබන ප්‍රකාශයකි.

මීට පෙර පැවති පාලන කාලසීමාවන්හි විවිධ අමාත්‍ය ධුර දැරූ පුද්ගලයන් සහ නිලධාරීන් සෘජු ලෙස ම ජපන් සමාගම්වලින් අල්ලස් ඉල්ලා සිටි බවට ඒ මහතා චෝදනා කර තිබුණි. එපමණක් නොව එකල ජනාධිපති ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ පිළිබඳව පැමිණිලි කළ බව ද ඔහු සඳහන් කළේය.

ජපානය යනු ශ්‍රී ලංකාව සමඟ අතිශය හිතවත් ඉතා සුහද ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික මිත්‍රශීලිභාවයක් පවත්වාගෙන යන රටකි. ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති වන්නේ 1952 වසරේ සිට ය. මේ නිසා ම ශ්‍රී ලාංකික ජනතාවගෙන් අති බහුතරයක් ජපානය පිළිබඳව මිත්‍රශීලි ආකල්පයක් ඇති කරගෙන තිබේ.

ජපාන රජය ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති රැසක් සඳහා මීට පෙර ආයෝජනය කොට ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ජාතික අධ්‍යාපන ආයතනය ඒ අතරින් සමහරකි.

අල්ලස, දූෂණය, වංචාව, රාජ්‍ය මුදල් අවභාවිතය, දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ වංචා දූෂණ අක්‍රමිකතා යනාදිය ඉහවහා ගිය රටක් ලෙස ශ්‍රී ලංකාවට අනාගත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම බරපතළ ගැටලුවක් වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

නමුත් ජපාන තානාපතිවරයාගේ කතාව එවකට සිටි පාලක පන්තිය බරපතළ දේශපාලනික වැදගත්කමකින් සැලකූ බවක් හඳුනා ගැනීමට නොලැබුණි. ඒ වෙනුවට එකල සිටි බල කඳවුර විසින් සිදු කරනු ලැබුවේ දූෂිතයන් ආරක්ෂා කිරීම පමණකි. අවසානයේ සිදු වූයේ ජපාන ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ යම් කලකට නතර වීමයි.

ජපාන තානාපතිවරයා යළි මෙම කතාව සිහිපත් කරවීමෙන් ඇඟවෙන දේශපාලනික අර්ථය කියවා ගැනීම යහපත් වනු ඇත. ගෝලීය දේශපාලනය තුළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව සනිටුහන් කරගැනීමේදී මූල්‍ය සාක්ෂරතාව පිළිබඳව වන විනිවිදභාවය අත්‍යවශ්‍ය කාරණයක් වනු ඇත.

දූෂිත දේශපාලනඥයන් සහ දූෂිත රජයේ නිලධාරීන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය මෙලෙස හෑල්ලු කරවීම පිළිබඳව නීති මඟින් කටයුතු කළ යුතුව ඇත. ජපන් තානාපතිවරයාගේ ප්‍රකාශය අනුව වර්තමානයේ හෝ ඒ පිළිබඳව ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුව ඇත.

වත්මන් රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය පිළිබඳව තමන් සතුටු වන බවත් එවැනි සැලසුම් අනාගත ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වනු ඇති බවත් ඔහු සඳහන් කොට තිබුණි.

ජපාන තානාපතිවරයා විසින් පෙන්වාදෙනු ලබන්නේ විදෙස් ආයෝජන ලැබීමට සහ පවත්වාගෙන යෑමට නම් එවැනි දූෂණ විරෝධී සැලසුම් අත්‍යවශ්‍ය වන බවයි.

මෙහිදී ඇති බරපතළ දේශපාලනික ගැටලුව නම් ජපාන තානාපතිවරයා මීට පෙර රටේ ඉහළ ම බලධාරියාට කරන ලද පැමිණිල්ලට අනුව විධිමත් ක්‍රියාමාර්ග නොගැනීමයි. විනිවිදභාවය හෝ දූෂණ විරෝධී බව පනතක හෝ වගන්තියක තිබූ පමණින් සාධාරණය ඉටු වන්නේ නැත. ඒ සඳහා ක්‍රියාමාර්ග ගත යුතු ය. මීට පෙර පාලක පන්තියේ සිටි පුද්ගලයෝ ජාත්‍යන්තර මිතුරන් පවා අහිමි කරගනිමින් තමන්ගේ අන්තේවාසික දූෂිත දේශපාලනඥයන් රැකගෙන ඇති බව තහවුරු කරගැනීමට මෙය කදිම සාක්ෂියකි.

වර්තමානයේ ඔවුහු කිසිදු හිරිකිතයකින් තොරව යහපත් රාජ්‍ය පාලනයක් පවත්වා ගැනීම සඳහා යළි තමන්ට බලය ලබා දෙන්නයි ද ඉල්ලා සිටිති. ජපාන තානාපතිවරයා මෙහිදී එක්තරා ඇමැතිවරයකුගේ නම පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කොට තිබුණි.

අවසානයේ ජපාන රජය එයට ප්‍රතිචාර දැක්වූයේ එම පුද්ගලයාට පමණක් නොව සමස්ත රටට ම රිදෙන ආකාරයේ ක්‍රියාමාර්ගයකිනි. ශ්‍රී ලංකාවේ ජපාන ආයෝජන තාවකාලිකව නතර කර දැමීම එම පියවරයි.

වෙනත් රාජ්‍යයක නම් මෙවැනි දූෂිත දේශපාලනඥයන් අල්ලා හිරේ දමනු ඇත. විධිමත් නීතිමය ක්‍රියාමාර්ග මඟින් දඬුවම් පමුණුවනු ඇත. ඒත් ශ්‍රී ලංකාවේ සිදු වනුයේ එකී දූෂිත දේශපාලනඥයන් නිදැල්ලේ සැරිසැරීම ය. යළි ජනතාවගෙන් ජනතා සේවයට අවස්ථාවක් ඉල්ලීම ය.

රාජ්‍යතාන්ත්‍රික විනිවිදභාවය සහ මූල්‍ය විනිවිදභාවය පිළිබඳව ජපාන තානාපතිවරයාගේ පාඩම ඉතා හොඳින් කියවා ගත යුතුව ඇත. එවැනි රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකුගේ හෙළිදරවු කිරීමක් පිළිබඳව නීතිය ඉටුවීම පමා විය යුතු නැත. ඒ පමා වෙන මොහොතක් මොහොතක් පාසා ශ්‍රී ලාංකේය ජන සමාජයේ ජනතාවගේ ජන මනස ද සාමාන්‍යකරණය වීම වැළැක්විය නොහැකි කාරණයක් වනු ඇත. දූෂිතයන් සහ වංචාකරුවන්ට විධිමත් හා සාධාරණ පරීක්ෂණ නීති මඟින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.

ජපාන තානාපතිවරයා සඳහන් කළාක් මෙන් වර්තමාන රජයේ දූෂණ විරෝධී සැලැස්ම කඩිනමින් ක්‍රියාවට නැංවීම කාලීන අවශ්‍යතාවක් බව අපි යළිදු සඳහන් කොට තබමු. වඩාත් සුබවාදී, ජනතාවට වගකියන පාලනතන්ත්‍රයක් සඳහා එමඟින් ලැබෙන පිටුබලය ඉමහත් ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT