Friday, May 16, 2025
Home » “ගැහැනු ළමයි” නේ ලොවම බලා ඉන්නේ

“ගැහැනු ළමයි” නේ ලොවම බලා ඉන්නේ

by mahesh
May 16, 2025 1:00 am 0 comment

කුසුම්ගේ අතීතාවර්ජනය තුළින් සුමිත්‍රාගේ අතීතය චිත්‍රණය වන තරම ගොළු හදවතින් පසු ජයලත්ගේ ගැහැනු ළමයි ගැන සිහින මැව්වේ ලෙස්ටර් ය. ඇගේ ජීවිතයේ ලස්සනම දවස්වල කතාන්දරය ගමේ මිශ්‍ර පාසල විශාඛා බාලිකාවට වඩා සුන්දරය. හුරුපුරුදු නිවෙසින් වියෝවීමේ දුක ආදි යුගයකට ඇති ඇල්ම සිනමාවෙන් ඉෂ්ට කර ගැනීම සිංහලකම හොඳින් දන්න සිංහල ගැහැනියකගේ සැබෑ සිංහල චිත්‍රපටය ලෙස කළ ප්‍රචාරය සුමිත්‍රා ලෙස්ටර්ව තෝරා ගනිද්දී සිය වාමාංශික භාරකරුවන් ඊට එරෙහි නොවීමට බලපෑවේ සංදේශය ද? ගම්පෙරළියද? ගැහැනු සිත වඩාත් වැටහෙන්නේ ගැහැනු සිතකටය. කුසුම් ආත්ම ශක්තියෙන් හීන වූ ගතානුගතිකත්වයට කීකරු වූ පරාජිත චරිතයක්ද? සුමිත්‍රා තම සංස්කෘතියෙන් නිර්භයව පැන ගොස් නවීන සමාජය ජය ගත් පෙරදිග සමාජවාසී චරිතයක්. අවුල් සහිත වැල්වටාරම් පිරි දුර්වල නවකතාවකින් සිනමාරූපී චිත්‍රපටයක් මතු කර ගත හැකිද? පවත්නා තත්ත්වය වෙනස් කිරීමට හෝ ඒ සඳහා යෝජනා නොකිරීම තුළ ඇති දේශපාලන අර්ථය ප්‍රබන්ධය තුළ ඇයට ඔහු හිමි නොවූවද සත්‍යය තුළ ඔහු ඇයට හිමි වෙයි. පියාගේ දේශපාලන බලය හා මවගේ මුදල් බලය සුමිත්‍රා මේ අන්ත දෙකම නොතැකුවාය.

සුමිත්‍රා පීරිස්

සුමිත්‍රා පීරිස්

සුමිත්‍රා ගේ ළදරු විය ගෙවුණේ ගමේ පාසලේ ය. ඈ කුඩා කල අකුරු කළේ අවිස්සාවේල්ලේ පිහිටි ශාන්ත මේරි මිශ්‍ර පාසලේ ය. “ගැහැනු ළමයි” චිත්‍රපටයට ප්‍රස්තුත වන්නේ ද මිශ්‍ර පාසලකි. පසු කලක සුමිත්‍රා කොළඹ විශාඛා විදුහලට ඇතුළත් කෙරිණි. එහි සිටියේ ගැහැනු ළමයින් පමණි.

විශාඛාවේ ජීවිතය ගමේ පාසලේ තරම් ඇයට සුන්දර නොවන්නට ඇතැයි සිතිය හැකි ය. පාසල් නිවාඩුව එන තෙක් ඇය නොඉවසිල්ලෙන් පීඩා වින්දේ යළි ගෙදර යන්නට ලැබෙන නිසා ය. නගරයට ආ සුමිත්‍රා තව තවත් ගමට පෙම් බඳින්නීය. අතීතය ගැන සිතා එම ආදී කාලයට යන්නට ඇත්නම් කියා සිතමින් ළතැවෙන්නීය. “ගැහැනු ළමයි” ඉපැද්දවූ කාලයේ සුමිත්‍රා මෙසේ කියා තිබිණි.

“මම දැනට වඩාත් නාගරික ජීවිතයට කිට්ටු වුණත් පුංචි කාලෙ ඉගෙන ගත්තේ මිශ්‍ර පාඨශාලාවක යි. එක අතකින් සිතන විට “ගැහැනු ළමයි” පසුබිමට සමාන පරිසරයක් එහි තිබුණා. අනෙක් අතින් සිතන විට ගැහැනු ළමයකු වශයෙන් මම පාසල් සමයේදී විශාල ආශ්වාදයක් ලැබුවා.

“ගැහැනු ළමයි” චිත්‍රපටයෙහි අප දකින්නේ කුසුම්ගේ අතීතාවර්ජනයකි. අනෙක් අතින් මෙය සුමිත්‍රාගේ අතීතාවර්ජනයක් ද වෙයි. “ගැහැනු ළමයි” තුළින් සුමිත්‍රා අතීතයට යයි. තම සුපුරුදු නිවෙසට, ගමට හා සංස්කෘතියට පිවිසෙයි.

“ජීවිතයේ ලස්සනම දවස්වල කතාන්දර ය”

“ගැහැනු ළමයි” චිත්‍රපටය එකල හැඳින්වුණේ එබඳු අර්ථ බහුල ආකාරයකට ය. ජීවිතයේ ලස්සනම දවස් ස්මරණය කරන්නට සිදුවන්නේ ඊට ප්‍රතිවිරෝධී ලස්සන නොවූ දවස්වල සිර වූවන් වන අපටමය.

“ගැහැනු ළමයි” සමඟ ජීවත් වෙද්දී, එනම් “ගැහැනු ළමයි” චිත්‍රපටගත කරද්දී ඇය ද ගැහැනු ළමයකු වී යැයි පැවසීමෙන් ම ඇය හා මෙම චිත්‍රපටය අතර කොතරම් භාවාත්මක බැඳීමක් වී දැයි අප සිතා ගත යුතුය. ඇය “ගැහැනු ළමයකු” වනු ලෙස්ටර් ද දකින්නට හා විඳින්නට ඇත. “ගොළු හදවත” අධ්‍යක්ෂණය කිරීමෙන් ලද අත්දැකීම් ද සමඟින් ඊටත් වඩා සියුම් සිනමා කාව්‍යයක් තමා අතින් බිහිවන බව දැන දැනම ඔහු “ගැහැනු ළමයි” තම බිරිඳට පැවරීමෙන් ලද තෘප්තිය සුවි‍ශාල ය.

“ගැහැනු ළමයි” ගැමි තරුණියකගේ ජීවිතය විවරණය කරන කතා පුවතකින් යුක්තය. ලියනගේ දෝන කුසුමාවතී හෙවත් කුසුම් (වසන්ති චතුරාණි) මෙම වෘත්තාන්තයේ ප්‍රධාන ගැහැනු ළමයා ය. මේ සමඟම සුමිත්‍රා තම ළමා විය ද මතකයට නඟයි. ඈ පවසන්නේ මෙවැන්නකි.

“ගැහැනු ළමයි” කරද්දී මට මගේ ළමා විය සහ යොවුන් විය මතකයට ආවා. පොත් ගොඩක් තුරුලු කරගෙන සම වයසේ ගැහැනු ළමයින් සමග කෙළි සෙල්ලමෙන් ගත කළ ඒ රසබර ජීවිතය මතක් වුණා. රබර් වතු මැදින් ගිහින් ගැහැනු ළමයින් සමඟ සෙල්ලම් කළ හැටි මතක් වුණා. ඒ වයස හා ගති පැවතුම් ආයෙමත් ළඟා කර ගන්න බැරි වුණත් ඒ ලස්සන ලෝකයට සිතින් ආයෙම යන්න මට “ගැහැනු ළමයි”ත් සමඟ පුළුවන්.

සුමිත්‍රා “ගැහැනු ළමයි” සමඟ ළබැඳුණු තරම එසේ හෙළි කරයි. සුමිත්‍රා මෙම නවකතාවට මෙතරම් බැ‍ඳෙනුයේ ඇයි? “ගැහැනු ළමයින්ගේ “ අති සංවේදී කතාව නිසා ද? සංෂිප්තව මේ කතාන්දරය මෙසේ ය:

කුසුම් යනු කුලීකරු‍වකු සහ එළවළු වෙළෙන්දියකගේ එක් දියණියක් වන්නී ය. සෝමා යනු කුසුම්ගේ නැඟණිය යි. කුසුම් සහ සෝමා අදහස් හා ගති පැවතුම් අතින් වෙනස් ය. කුසුම් තම නිවෙසට නුදුරින් පිහිටි කමලාවතී නැන්දාගේ නිවෙසට නිතර යන එන්නියකි. නැඟී එන වාණිජ පන්තියට අයත් කමලාවතී නැන්දාගේ පුත් නිමල් කුසුම්ට ආදරය ප්‍රකාශ කරයි. එහෙත්, කුසුම් පවසන්නේ ඇයට නැන්දාගේ විශ්වාසය කඩ කළ නොහැකි බවයි. ඔවුනොවුන් සමීප වෙද්දී මෙම ප්‍රේම සම්බන්ධය කමලාවතීට දැනගන්නට ලැබේ. තම පුතු බේරා දෙන ලෙස කමලාවතී කුසුම්ගෙන් ආයාචනා කරයි.

“අනේ කුසුම් මගේ කොල්ලා බේරල දීපන්. ඒක කරන්න පුළුවන් උඹට යි. උඹට කවදාවත් වරදින්නේ නෑ. උඹ ශීලාචාර ගෑනු ළමයෙක්. උඹට දෙයියන්ගෙම පිහිට යි.”

නිමල්ගේ මව, එනම් කමලාවතීගේ එම ඉල්ලීමට කුසුම් අවනත වෙයි. අවසානයේ ගැටලු රැසක් තුරුලුකොට ගෙන කුසුම් තනි වෙයි.

කරුණාසේන ජයලත් සහ පසුව ඔහුට අනුව ම සුමිත්‍රා පීරිස් ද පවසන පරිදි කමලාවතීට “තම කොල්ලා” බේරා දිය හැක්කේ කුසුම්ට පමණි. “කමලාවතීගේ කොල්ලා” එබඳු බේරා ගැනීමක් කළ යුතු විනාශයකට හසුව ඇති බව ද මින් කියැවේ. එම විනාශයෙන් තම පුතු බේරා දිය හැකි එක ම ගැලවුම්කාරිය වන කුසුම්ට “කවදාවත් වරදින්නේ නැතැ’යි කමලාවතී ආශීර්වාද කරයි. ඇය ශීලාචාර ගැහැනු ළමයෙක් යැයි කමලාවතී කුසුම්ට දෙන චරිත සහතිකයේ අර්ථය කුමක් ද? කුසුම් ශීලාචාර නම් අශීලාචාර වන්නේ කවුද? කුසුම්ට දෙවි පිහිට පතමින් කමලාවතී ඉඟි කරන්නේ කුමක් ද? තම පුතුට පිහිට වන්නේ අදෘශ්‍යමාන දෙවියන්ගේ අන්තයට ප්‍රතිවිරෝධී යථාර්ථවත් අන්තයක් බව නොකියා කිය යි. කුසුම් ව මායාවක තබමින් තම පුතුව යථාර්ථයක් කරා යොමු කරවන්නට කමලාවතී සූක්ෂ්ම වෙයි. එම යථාර්ථය තුළ නිමල් ජයගනී. කුසුම් පරදී. සැබැවින්ම දිනන්නේ නිමල් ද? සුමිත්‍රා සියුම්ව ප්‍රශ්න කරන්නේ එය යි.

කමලාවතී නැන්දා අයැද සිටි ආකාරයට ම කුසුම් විසින් නිමල් ව බේරා දෙනු ලබ යි. මෙසේ බේරා දෙන්නේ කුමකින් ද? කුසුම් ට කිසිදා වරදින්නේ නැතැයි කීව ද සියල්ල වරදින්නේ ද කුසුම්ට ම ය. එසේ නම් නොවරදින්නේ කාට ද? කුසුම් ශීලාචාර ගෑනු ළමයෙක් නම් මෙලෙස තනිවන්නේ සහ වරදින්නේ එබඳු ශීලාචාර ගැහැනු ළමුන්ට ද? එසේ නම් අශීලාචාර කවුද? කමලාවතී නැන්දා ආශීර්වාද කළ ආකාරයට කුසුම්ට දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ ද නැත. එසේ නම් දෙවියෝ වුව බලන්නේ කා දිහාද? සුමිත්‍රා ප්‍රශ්න කරන්නේ ඔවැනි දේය.

“ගැහැනු ළමයි” චිත්‍රපටයේ කුසුම්ගේ චරිතය පරාජිත චරිතයක් බව කියමින් මෙරට සමාජවාදී විචාරකයින් එකල සුමිත්‍රාට දොස් නැඟූ විට ඒ ගැන ඇය පැවසුවේ මෙවැන්නකි.

“මට නං තේරෙන්නෙ නෑ ඔවුන් ඉන් කුමක් අදහස් කළා ද කියලා. කුසුම් මේ රටේ ජීවත් වන එක්තරා ගැහැනු ළමයකු පමණයි. ඒ ළමයා එක්තරා ප්‍රශ්නයක දී ක්‍රියා කරන විලාසය පිළිබිඹු කිරීමට මිසක් ඒක හරිද නැද්ද කියන එක විග්‍රහ කරන්න මට අවශ්‍ය වුණේ නෑ. අනික් අතට “ගැහැනු ළමයි” චිත්‍රපටය ඔය කියන තරම් සමාජවාදයට පටහැණි චිත්‍රපටයක් නම් ටියුනීසියාවේ පැවැත්වුණු කාතේජ් චිත්‍රපට උලෙළේ දී එය සම්මානයක් දිනා ගන්නේ කොහොම ද?

කුසුම්ගේ චරිතය දෙස සුමිත්‍රා බැලූ සම්ප්‍රදායයෙන් ශික්ෂිත වූ උපේක්ෂාසහගත හා බැල්ම හඳුනා ගත හැකි සටහනක් මතු දැක්වෙයි. මෙය එකල “ගැහැනු ළමයි” හඳුන්වන ලද දැන්වීමකි.

“දුවේ කුසුමෙ උඹට තුනුරුවන්ගේ සරණයි. දෙවියන්ගේ ම පිහිටයි.”

“සිංහල සිරිතට හැදුණ වැඩුණ කුසුම්, පවුලේ අනිත් අයගේ දුක් ගන්නා ඔවුන් වෙනුවෙන් ජීවිතයම කැප කළ කුසුම් වැනි දියණියක්, සහෝදරියක් හැම සිංහල නිවෙසකම සිටියි. ඇගේ කතාවයි, “ගැහැනු ළමයි”.

කුසුම්ගේ චරිතය හරහා සුමිත්‍රා බොහෝ දෑ පවසයි. යථාර්ථය දෙස සිනමාරූපී කාව්‍යමය ඇසකින් බලයි. සුමිත්‍රා එම සමාජ යථාර්ථය දෙස සූක්ෂ්මව බලයි. සංයමයෙන් යුතු ව එය විමසමින් වක්‍රව එය විවේචනය කරන්නේ ඊට එළිපිට විරුද්ධ නොවෙමිනි. ඇත්ත ඇති සැටියෙන් පෙන්වීමෙන් පමණක් සුමිත්‍රා සිය නිහඬ විරෝධය පළ කරයි. රසිකයා ආවේගකාරී ලෙස උසිගන්වන්නට ඇයට නුවුවමනා ය. අවසාන තීරණය රසිකයාගේ තීරණය බව කරුණාවෙන් සලකා ඇය පසෙකට වී බලා සිටියි. සමාජ යථාර්ථය ඉක්මවා යන්නට හා එය ප්‍රශ්න කරන්නට සුමිත්‍රා මවන කුසුම් ට ද හයිහත්තියක් නැත.

ජයලත්ගේ “ගැහැනු ළමයි” දුර්වල නවකතාවකැයි එකල ඇතැම් විචාරකයන් පැවසූ අවස්ථා ද විය. “ගැහැනු ළමයි” චිත්‍රපටය නිම කිරීමේදී සුමිත්‍රා පීරිස්, කරුණාසේන ජයලත්ගේ අවුල්සහගත දුර්වල නවකතාව සිනමාරූපී සරල චිත්‍රපටයක් කිරීමට උත්සාහ කර තිබේ යැයි මත පළ විය. සුමිත්‍රා පීරිස් සිය තිරනාටකය මඟින් නවකතාවේ වැල්වටාරම් බොහෝ දුරට අත්හැර මූලික අදහස් පවිත්‍රව කීමට උත්සාහ කරන බව පෙනේ. එහෙත්, සිද්ධීන්හි අසම්බන්ධතාව දක්නට ලැබේයැයි ඇතැම්හු කීහ.

“ගැහැනු ළමයි” සිනමාරූපී චිත්‍රපටයක් බව මින් පිළිගැනෙයි. සරල වුව ද සිනමාරූපී වූ බව පිළිගැනීම විශේෂ කාරණයකි. එහෙත්, එකල ඇතැම් විචාරකයන් කුසුම්ගේ චරිතය විග්‍රහ කළේ අක්‍රිය දුබල චරිතයක් ලෙසිනි.

පවත්නා තත්ත්වය වෙනස් කිරීමට හෝ ඒ සඳහා කිසියම් යෝජනාවක් ගෙන ඒමට සුමිත්‍රා නොපෙ‍ලඹෙන බව වරක් ඇයම පවසා ඇත.

“මෙහෙම දෙයක් මෙහෙම වුණාය කියා කිවුවම ඊට වඩා කම්පනයක් ඇති කරන්න පුළුවන්” යැයි සුමිත්‍රා සිතයි. ඇගේ සිනමාව සහ එම සිනමාව තුළ ඇගේ දේශපාලනය එයයි. සුමිත්‍රාගේ සිනමා ශෛලිය ගොඩනඟා ඇත්තේ පෙරදිග සමාජයේ පවතින භාවමය පසුබිමයි. සමාජ ඛේදවාචකය පෙන්වා දීමෙන් පමණක් කම්පනයක් ඇති කිරීම සුමිත්‍රාගේ සිනමාවේ සීමාවයි. කුසුම් යනු සියල්ල විඳ දරා ගන්නා මේ පෙරදිග සමාජයේ සංවේදී මිනිස් චරිතයකි. මෙම සංවේදී මිනිසා ව හික්මවනු ලබන්නේ බෞද්ධ දර්ශනය විසිනි. සංස්කෘතියෙන් හා යථාර්ථයෙන් පැන යන්නා වූ අය විනාශ වන බව ද “ගැහැනු ළමයි” තුළ අවධාරණය කරන්නේ “සෝමා” ගේ චරිතය ආශ්‍රයෙනි.

සුමිත්‍රා ලෙස්ටර්ව තම සහකරුවා ලෙස තෝරා ගනිද්දීත් තම පියා ඊට කිසිදු විරෝධයක් නොපෑවේ යැයි ඇය කියයි. ඇය එසේ පවසන්නේ සිය පියා කෙරෙහි අප්‍රමාණ භක්තියකිනි.

“තාත්තාගේ ලොකු මාන්නයක් තිබුණෙ නෑ. තාත්තගෙන් මට දවසකටවත් විරුද්ධත්වයක් තිබුණා කියලා මං හිතන්නෙ නෑ. මං තාත්තාට කිවුවා මං බඳිනවා කියලා. තාත්තා විරුද්ධ වුණේ නෑ. ලෙස්ටර් කවුද කියල තාත්තා දන්නවා. “ගම්පෙරළියටත්” පස්සෙනෙ අපි බැන්දෙ. සමහර විට “සංදේශය” වගේ චිත්‍රපටයක් කරපු එක ලෙස්ටර් ගැන යම් පැහැදීමකින් හිතන්න හේතු වෙන්න ඇති”.

සුමිත්‍රාගේ ජීවිතයේ ලස්සන ම දවස් ගැන ගැඹුරින් සිතා බලද්දී විවිධ අරුත් මතු වෙයි. ජීවිතයේ ලස්සනම දවස් ගැන කියන සුමිත්‍රාගේ පළමු චිත්‍රපටයෙහි කුසුම්ගේ චරිතය දෙපසින් දිවෙන චරිත දෙකකි. එම චරිත දෙක නම් කුසුම්ගේ නැඟණිය සහ කුසුම්ගේ පෙම්වතා ය. එම චරිත යළි නිදර්ශන ලෙස ඈඳා ගැනීම උචිත යැයි සිතමි.

නිමල් නගරයේ මධ්‍ය මහා විද්‍යාලයක ඉගෙනුම ලබන්නෙකි. පසුව ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුමට ද සුදුස්‍සකු වෙයි. කුඩා සිල්ලර කඩයක් පවත්වාගෙන ගිය නිමල්ගේ මව අලුතින් නිවෙසක් ඉදි කරයි. සරසවි අධ්‍යාපනය අවසන් වූ පසු නිමල් ගුරුවරයකු වශයෙන් පත්වීමක් ලැබ තමා ඉගෙන ගත් පාසලටම එයි. ඩී.ආර්.ඕ. විභාගයට පෙනී සිටින නිමල් එයින් ද සමත් වෙයි. ආදායම් පාලක නිලධාරියකු ලෙස පත්වීමක් ලැබීම නිමිතිකොට ගෙන නිමල් ව පෙරහරකින් ගමට කැඳවාගෙන එයි. මෙය දකින කුසුම් ට තම අතීතය මතක් වන තැනින් චිත්‍රපටය ඇරඹෙයි.

සුමිත්‍රා තම ජීවිතයට උරුම වූ දේශපාලනයේ හා මුදලේ බලය ගැන වරෙක පහදයි. ඇය තම චිත්‍රපටය තුළ තම ජීවිතයේ මෙකී ඉඟි රඳවා සටහන් කරයි. අප කළ යුත්තේ ඇගේ ජීවිතයට එබිකම්කොට බලා එහි අරුත් වටහා ගැනීමයි.

“ගැහැනු ළමයිනේ අවට අලංකාර යි.”

“ගැහැනු ළමයි” චිත්‍රපටයෙහි එන මෙම ගීතයේ පද පේළි යළි යළි නෙක අරුත නැ‍ඟෙමින් සුගායනීය වෙයි. සුමිත්‍රා සුවිශේෂ ගැහැනු චරිතයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT