Friday, May 16, 2025
Home » ඉන්දු-පාකිස්තානු ගැටුමේ කලාපීය බලපෑම

ඉන්දු-පාකිස්තානු ගැටුමේ කලාපීය බලපෑම

by mahesh
May 16, 2025 1:01 am 0 comment

වර්තමානයේ ප්‍රබල ගැටලුවක් ලෙස ගොඩනැඟුණු ඉන්දු – පාකිස්තාන අර්බුදයේ මූලාරම්භ තොරතුරු, එහි වර්තමාන තත්ත්වය මෙන්ම ශ්‍රී ලංකාවට එය බලපාන ආකාරය ආදී කරුණු පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද මහතා සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසිණ.

සුමිත් චාමින්දකොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ දේශ­පා­ලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රති­පත්ති 
අධ්‍ය­යන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය

සුමිත් චාමින්ද කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ දේශ­පා­ලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රති­පත්ති අධ්‍ය­යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය

දකුණු ආසියාවේ දශක හතකට අධික කාලයක් තිස්සේ පවතින දැවැන්ත දේශපාලන අර්බුදයක් ලෙස ඉන්දු පාකිස්තාන ගැටුම දැක්විය හැකිය. එසේම මෙය නූතන ලෝක ඉතිහාසයේ දීර්ඝතම අන්තර් රාජ්‍ය ආරවුල් අතර ප්‍රමුඛස්ථානයක් ගනී. වර්ෂ 1947දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස ලබාගැනීමත් සමඟම උපත ලැබූ මේ අර්බුදය, මූලික වශයෙන් කාශ්මීර ප්‍රදේශය සම්බන්ධයෙන් මතුවූවකි. ඒ අනුව කාලයත් සමඟ එය ජනවාර්ගික, ආගමික සහ භූ-දේශපාලනික වශයෙන් සංකීර්ණ ගැටලුවක් බවටත් පරිවර්තනය විය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස ලබාගැනීමේ ක්‍රියාවලියේදී මූලික වූ ආයතන දෙකක් වූයේ ඉන්දීය ජාතික කොංග්‍රසය සහ මුස්ලිම් ලීගයයි. ඉන්දීය ජාතික කොංග්‍රසය නිරාගමික දර්ශනයක් මත පදනම් වූ පුළුල් ඉන්දීය ජාතිකවාදීත්වය වෙනුවෙන් පෙනී සිටියේය. ඒ අතර, මොහොමඩ් අලි ජින්නා විසින් නායකත්වය දෙන ලද මුස්ලිම් ලීගය, මුස්ලිම් ජනතාවට වෙනම රාජ්‍යයක් අවශ්‍ය බව ප්‍රකාශ කරමින් ‘දෙරාජ්‍ය’ න්‍යාය ඉදිරිපත් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව සහ පාකිස්තානය යන රාජ්‍යයන් දෙක නිර්මාණය වූ අතර, පාකිස්තානය නැ‌ෙ‌ඟනහිර පාකිස්තානය (වර්තමාන බංග්ලාදේශය) සහ බටහිර පාකිස්තානය (වර්තමාන පාකිස්තානය) ලෙස කොටස් දෙකකින් පිහිටුවන ලදි.

විවිධ මුහුණුවර

කාශ්මීරය නම් මෙම රටවල් දෙක අතර ආරවුලට ලක්වී ඇති ප්‍රදේශය, අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබන අවස්ථාවේදී හින්දු මහරාජාවරයකු විසින් පාලනය කරනු ලැබුව ද, එහි ජනගහනයෙන් බහුතරයක් මුස්ලිම්වරුන් විය. බ්‍රිතාන්‍ය පාලනය යටතේ කුමාර රාජ්‍යයන්ට තම අනාගත ගමන් මඟ තීරණය කිරීමේ අයිතිය ලැබුණු අතර, ඔවුන්ට ඉන්දියාවට හෝ පාකිස්තානයට එක්වීමේ හෝ ස්වාධීනව පැවතීමේ අවස්ථාව ලැබීය.

කාශ්මීරයේ හින්දු මහරාජා වූ හරි සිං, ඉන්දීය කොංග්‍රසය සමඟ එතරම් සුහදශීලී සම්බන්ධතාවක් නොපැවැත්වූ අතර ස්වාධීනව පැවතීමට උත්සාහ කළේය. එහෙත් පාකිස්තානයේ ඉස්ලාමීය ජාතිකවාදී කණ්ඩායම් කාශ්මීරය ආක්‍රමණය කිරීමත් සමඟ මහරාජා ඉන්දියාවේ සහාය පැතීය.

ඔහු ඉන්දියාව සමඟ ඒකාබද්ධ වීමට එකඟ වූ අතර, එය පාකිස්තානය විසින් පිළිගනු නොලැබීය. මෙය 1947 මුල්ම ඉන්දු-පාකිස්තාන යුද්ධය ඇරඹීමට මූලික හේතුව විය. යුද්ධය නිමා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වූ අතර, 1948 වසරේදී සටන් විරාමයක් ද ප්‍රකාශයට පත්කෙරිණි. එම නිසා කාශ්මීරය, ඉන්දියාව විසින් පාලනය කරනු ලබන ප්‍රදේශය සහ පාකිස්තානය විසින් පාලනය කරනු ලබන ප්‍රදේශය ලෙස කොටස් දෙකකට බෙදුණි. මෙම තාවකාලික දේශසීමාව (Line of Control – LoC) අදටත් පවතින අතර, එය මෙම ගැටුම තවදුරටත් අවුළුවීමට හේතු වී ඇත.

එමෙන්ම, වර්ෂ 1947 සිට මේ රටවල් දෙක අතර ප්‍රධාන වශයෙන් යුද්ධ හතරක් සිදු වී තිබේ. වර්ෂ 1947-1948 යුද්ධය කාශ්මීරය අත්පත් කර ගැනීම සඳහා සිදු වූ මූලික ගැටුම විය. ඉක්බිතිව, 1965 වසරේදී යුද්ධය ද නැවතත් කාශ්මීරය මුල් කරගත්තකි. එසේම, වර්ෂ 1971දී පැවති යුද්ධය නැඟෙනහිර පාකිස්තානයේ (වර්තමාන බංග්ලාදේශය) ස්වාධීනත්ව අරගලය පිටුපස ඉන්දියාව සිටීමත් සමඟ ඇතිවූවකි. අවසාන වශයෙන් 1999 කාර්ගිල් යුද්ධය පාකිස්තාන හමුදා සහ සටන්කරුවන් අතර සිදුවූ ගැටුමකි.

මෙම ගැටුම් හැරුණුවිට, දෙරට අතර දේශසීමා ආරවුල් නිරන්තරයෙන් සිදුවෙයි. 1998 දී රටවල් දෙකම න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සිදු කළේය. ඒ අනුව න්‍යෂ්ටික බලවතුන් බවටත් පත්විය. මෙයින් මෙම ගැටුම තවත් භයානක මට්ටමකට ඔසවා තැබීය.

අභ්‍යන්තර දේශපාලනය සහ ජාතිකවාදී ව්‍යාපාර

ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලනය, 1980 දශකය දක්වා බොහෝදුරට නිරාගමික රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එහෙත් 1980 දශකය අග භාගයේ සිට, RSS සංවිධානය මුල් කරගත් හින්දු ජාතිකවාදී ව්‍යාපාරය ශක්තිමත් වීමත් සමඟ, භාරතීය ජනතා පක්ෂය බලයට පැමිණීමට මඟ පෑදිණි. නරේන්ද්‍ර මෝදි 2014 දී බලයට පත්වීමෙන් පසු, හින්දු ජාතිකවාදය තවදුරටත් ශක්තිමත් වූ අතර, 2019 සහ 2024 වසරේ දී ඔහු යළි තේරී පත්විය.

තවද, මෝදි පාලනය යටතේ 2019 දී ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කිරීමත් සමඟ, කාශ්මීර ප්‍රාන්තයට ලැබී තිබූ විශේෂ ස්වායත්ත තත්ත්වය අහෝසි විය. මෙම ප්‍රාන්තය දෙකඩ කර ඉන්දීය මධ්‍යම රජයේ සෘජු පාලනයට ද යටත් කෙරිණි.

එමෙන්ම, ඉන්දීය පුරවැසි පනතට ගෙන එන ලද සංශෝධන මඟින්, පාකිස්තානයෙන් හා බංග්ලාදේශයෙන් පැමිණෙන මුස්ලිම් සංක්‍රමණිකයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබාගැනීම අසීරු කෙරිණි. මේ සියල්ල ‘අඛණ්ඩ භාරතය’ යන සංකල්පය යටතේ සිදුකරනු ලැබුණු අතර, එය පැරණි භාරතය ප්‍රතිනිර්මාණය කිරීමේ දැක්මක් ලෙස හැඳින්විය හැකිය.

අනෙක් අතට, පාකිස්තානයේ දේශපාලනය තුළ හමුදාව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. වරින්වර හමුදා පාලනයන් බිහිවූ අතර, අභ්‍යන්තර දේශපාලන අස්ථාවරත්වය පාකිස්තානය පීඩාවට පත් කර ඇත. මෑතකදී එරට බලයේ සිටි අගමැති ඉම්රාන් ඛාන් සිරගත කර ඇති අතර, පාකිස්තාන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර මත යැපෙයි. චීනය සමඟ සමීප සම්බන්ධතා පවත්වන පාකිස්තානය, චීන ණය උගුලක සිරවී ඇතැයි යන්න බොහෝ විද්වතුන් පෙන්වා දෙන්නකි.

මේ අනුව තවදුරටත් විමසා බැලීමේදී, ඉන්දු – පාකිස්තාන ගැටුම ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වයට බරපතළ ලෙස බලපෑම් එල්ල කරයි. ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ භූගෝලීය වශයෙන් සංවේදී ස්ථානයක පිහිටීම හේතුවෙන්, කලාපීය බලතුලනයේ කේන්ද්‍රීය කොටසක් බවට පත්ව ඇත.

එසේම, ඉන්දියාව, ශ්‍රී ලංකාව තම අභ්‍යන්තර දේශපාලන ස්ථාවරත්වයේ කොටසක් ලෙස සලකයි. 1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ‘අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය’ හේතුවෙන් ඉන්දියාව සමඟ ගැටුම් ඇතිවිය. වර්තමානයේ හින්දු ජාතිකවාදී ප්‍රවණතා ඉස්මතු වීමත් සමඟ, ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.

ඊට ප්‍රධාන හේතුවක් වන්නේ, ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති සමීප සබඳතාවයි. මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රී ලංකාව, චීනය සමඟ වඩාත් සමීප සම්බන්ධතා ගොඩනඟා ගැනිණි. හම්බන්තොට වරාය වැනි විශාල ව්‍යාපෘති චීන ආයෝජන මත පදනම් වූ අතර, ඉන්දියාව මෙය තම ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැල‍ෙකන බවක් ද පෙනිණ.

ඒ කෙසේ වෙතත්, වර්තමානයේ ශ්‍රී ලංකාව විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර, මෙම තත්ත්වය තුළ ඉන්දියාව සහ චීනය අතර සමතුලිත විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අභියෝගාත්මක කාර්යයකි. ශ්‍රී ලංකාව එක් පැත්තකින් ඉන්දියාව සමඟ පැරණි මිත්‍රත්වය පවත්වා ගනිමින්, අනෙක් අතට තම ජාතික ස්වාධීනත්වය රැක ගැනීමට උත්සාහ කරනු දක්නට පුළුවන.

සංකීර්ණතා

සැබැවින්ම, ඉන්දු – පාකිස්තාන ගැටුම යම් ආකාරයකින් උත්සන්න වුවහොත්, ශ්‍රී ලංකාවට අසීරු තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇත. චීනය සහ පාකිස්තානය අතර ඇති සමීප සබඳතා හේතුවෙන් ශ්‍රී ලංකාව තම භූ-දේශපාලනික ස්ථාවරය තේරීමේදී ඉතා ප්‍රවේශම් විය යුතුය. අවසාන වශයෙන්, ඉන්දු – පාකිස්තාන අර්බුදය කලාපීය සහ ජාත්‍යන්තර සාමයට තර්ජනයක් වන දිගුකාලීන ගැටුමකි.

මෙහි මූලය වන්නේ කාශ්මීරය පිළිබඳ ප්‍රශ්නය වුවද, එය ආගමික, ජනවාර්ගික සහ භූ-දේශපාලනික හේතුසාධක රැසක් මත පදනම් වූ සංකීර්ණ අර්බුදයකි. ඒ පිළිබඳ ගැඹුරින් විමසා බලන විටදී මෙය වටහාගත හැකිය. ඒ ඔස්සේ බැලූ විටදී ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට, මෙම ගැටුම ඉතා සංවේදී කරුණකි. එසේම එය එම රටවල ජාතික ආරක්ෂාවට සහ ආර්ථික ස්ථායීතාවට බරපතළ බලපෑම් ඇති කරන්නට ද පුළුවන. ඒ අනුව ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්තිය තේරීමේදී ඉතා ප්‍රවේසම්සහගත සහ උපායශීලී විය යුතුය. අවධාරණය කළ යුතු තවත් කරුණක් වන්නේ කලාපීය බලවතුන් අතර සමතුලිතතාව පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුය. වර්තමාන භූ දේශපාලනික තත්ත්වය තුළ මෙම ගැටුම අඛණ්ඩව පැවතීම, දකුණු ආසියාවේ සාමය සහ ස්ථාවරත්වය සඳහා ප්‍රධාන බාධකයක් වන අතර, ශ්‍රී ලංකාව වැනි රටවල අනාගතයට මෙය ඍජුවම බලපාන බවත් නොරහසකි.

නිසංසලා කොට්ටගස්වත්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT