Friday, May 16, 2025
Home » පූජිතට-හේමසිරිට එරෙහි නඩුව ජූනි 30දා විභාගයට

පූජිතට-හේමසිරිට එරෙහි නඩුව ජූනි 30දා විභාගයට

by mahesh
May 16, 2025 1:00 am 0 comment

චන්දන ජයවීර

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව පවරා තිබුණු අපරාධ නඩුව ලබන ජූනි 30දා විභාගයට ගැනීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (15දා) නියෝග කළේය.

ආචාර්ය නාමල් බලල්ලේ, ආදිත්‍යය පටබැඳි, මොහොමඩ් ඉර්ෂදීන් යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ විත්තිකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලදි.

නඩුව අවසන් වරට කැඳවු පසුගිය ජනවාරි 28දා විත්තියේ සාක්ෂි විභාගය වෙනත් විනිසුරු මඬුල්ලකට යොමු කරන ලෙස පැමිණිල්ල ඉල්ලීමක් කළේය. එම කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කළ විනිසුරු මඬුල්ල එම අයැදුම අගවිනිසුරුවරයාට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට දන්වා සිටියේය.

ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලැබී නොමැති බැවින් නඩුව විභාගයට ගැනීම ජූනි 30ද දක්වා කල් තැබීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය. බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජකාරි වගකීම පැහැර හැරීම ඇතුළු අධිචෝදනා 855ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව නඩු පවරන ලදි.

පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා සලකා බලා චූදිතයන් නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය 2022 වසරේ පෙබරවාරි 18දා නියෝග කළේය.

අනතුරුව නීතිපතිවරයා එම තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ඉදිරිපත් කළේය. එම ඉල්ලීම සලකා බැලීමෙන් පසු සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන මහතාගේ එකඟතාව අනුව ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර, කුමුදිනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මහාධිකරණ තීන්දුව බල රහිත කෙරිණි. ඒ අනුව විත්තියේ සාක්ෂි විමසීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට නියම විය.

පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා යන මහත්වරු පෙනී සිටියහ. විත්තිය වෙනුවෙන් රොෂාන් දෙහිවල, ප්‍රියන්ත ගුණසිංහ, දුලාන් මිරිහාන යන මහත්වරු පෙනී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT