මාලිගාකන්ද උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරෙමින් උසාවියේ ආරක්ෂාව භාර පොලිස් නිලධාරීන්ට හා ආරක්ෂක නිලධාරීන්ට සාපරාධී බලහත්කාරකම් පෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරදාන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් චීවරධාරියකු හා තවත් පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත් ශාමිලා සහබ්දීන් මහත්මිය පෙරේදා (14) නියෝග කළාය. චීවරධාරියා හා අනෙක් සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිනවාදැයි පරීක්ෂා කිරීමට බන්ධනාගාරයෙන් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට ද නියෝග කළේය.
මරදාන ප්‍රදේශයේ පදිංචි දොන් පේදුරු ආරච්චිගේ සනත් සුජීව හා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි ඇඹිලිපිටියේ සෝභිත හිමි නම් චීවරධාරියකු මෙලෙස ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. අධිකරණයේ ආරක්ෂක රාජකාරියේ නිරත වෙමින් සිටියදී උසාවියේ ආපණ ශාලාව අසල මේ චීවරධාරියා සුදු පැහැති බෑගයක යමක් සඟවන බව තමා දුටු බවට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් මුරපොළේ ස්ථානාධිපති වන( පො. සැ. 28273) සිල්වා නිලධාරියා විසින් අධිකරණයේ කරුණු වාර්තා කළේය.
පසුව එය පරීක්ෂා කිරීමට යෑමේදී මේ චීවරධාරීයා සහ අනෙක් සැකකරු කලහකාරීව හැසිරී ඇති අතර ඒ අවස්ථාවේදී එසේ නොකරන ලෙස තමා ඔවුන්ට තරයේ අවවාද කළ බව ද පොලිස් මුරපොළේ ස්ථානාධිපති අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඒ අවස්ථාවේදී උසාවි ආරක්ෂාව භාර අනෙක් නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණෙනවා දුටු මේ සැකකරුවන් දෙදෙනා බියට පත් වී බැණ වදිමින් පලා ගොස් ඇති අතර පසුව ආරක්ෂක නිලධාරීන් ඔවුන් පසුපස ලුහුබැඳගොස් අල්ලාගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කළ බව ද පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා කරුණු සඳහන් කළේය.
චීවරධාරියා ජංගම දුරකතන සොරකමක් සම්බන්ධයෙන් හා අනෙක් සැකකරු මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට පැමිණ ඇති බවත් ඔවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය පානය කර මෙලෙස අධිකරණ භූමියට පැමිණ ඇති බවට සැක කරන බවද පොලිස් මුරපොළේ ස්ථානාධිපති කරුණු වාර්තා කළේය.
මේ සම්බන්ධයෙන් නීතිඥ ධම්මික රත්නායක මහතා ඇතුළු මාලිගාකන්ද උසාවියේ නීතිඥවරු අධිකරණයේ කරුණු දක්වමින් පවසා සිටියේ අධිකරණයට අපහාස කර හෑල්ලුවට ලක් කරන අය වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කර දඩුවම් ලබා දෙන ලෙසය.