Friday, May 16, 2025
Home » ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරුන් සතු වගකීමක්

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරුන් සතු වගකීමක්

නව දූත මණ්ඩල ප්‍රධානීන් හමුවේ ජනපති කියයි

by mahesh
May 16, 2025 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන දේශපාලනික පරිවර්තනය පිළිබඳ පණිවුඩය ජාත්‍යන්තරයට ගෙන යාම හා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරුන් සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ව්‍යවසායකයන්ට විදේශ වෙළෙඳපොළ අවස්ථා සොයා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය රාජ්‍යතාන්ත්‍රික සේවාවේ කොටසක් බව ද ජනාධිපතිවරයා පැවැසීය.

ජනාධිපතිවරයා එම අදහස් ප්‍රකාශ කළේ විදෙස් රටවල් කිහිපයක් සඳහා ශ්‍රී ලංකා තානාපතිවරුන් ලෙස පත්ව යන නව දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (15) පැවති සාකච්ඡාවේදීය. නව දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පී.එම්. කොලොන්නෙ, පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස එස්.ඩී.එන්.යූ. සේනාධීර, අමෙරිකානු නිව්යෝර්ක් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස ජයන්ත ජයසූරිය, කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආර්.එම්. මහින්ද රත්නායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය පී. ජනක් කුමාරසිංහ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය අරූෂා කුරේ මහත්ම මහත්මීහු මෙලෙස පත්වීම් ලැබ සිටිති.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේ දී ඒ සඳහා මූලිකත්වය දෙමින් විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, කිසිදු භේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නව රාජ්‍යතාන්ත්‍රිකයන්ට මෙහි දී උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ගේ තැනක් ලෙස ඔවුන්ට හැඟෙන පරිදි කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රට වෙනුවෙන් තම සේවය කාර්යක්ෂමව සිදු කිරීමට කටයුතු කරන ලෙස ද කියා සිටියේය.

මෙරට ආර්ථිකය නඟාසිටුවීම සඳහා සෘජු විදේශ ආයෝජන හා සංචාරකයන් කැඳවා ගෙන ඒම තානාපතිවරයාට පැවරෙන ප්‍රධාන වගකීමක් බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිදු වූ ඇතැම් සිදුවීම් නිසා පසුගිය කාලයේ තානාපතිවරුන් අපහසුතාවට පත්ව ඇති බවත් වත්මන් ආණ්ඩුව තානාපතිවරුන්ගේ ගෞරවයට හානි වන දෑ නොකරන බවත් කී ජනාධිපතිවරයා තානාපතිවරුන් වෙනුවෙන් ආණ්ඩුව ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ද සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT