Friday, May 16, 2025
Home » රජයේ සේවකයන්ට ආදර්ශවත්ව ක්‍රියා කළ හැකියි
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අනුව

රජයේ සේවකයන්ට ආදර්ශවත්ව ක්‍රියා කළ හැකියි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්

by mahesh
May 16, 2025 12:59 am 0 comment

උපාලි කරුණාරත්න

රජයේ සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන අනුව ආදර්ශවත්ව ක්‍රියාකළ හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන, තොරතුරු පර්යේෂණ හා ප්‍රතිපත්ති) ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනේ කේන්ද්‍රීය කමිටු සම්බන්ධීකාරක අමාත්‍යාංශ ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති කමිටුවේ සභාපති එන්.ඒ.කේ.එල්. විජේනායක මහතා පැවැසීය.

අතිරේක ලේකම්වරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවැති ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන පිළිබඳව දැනුම්වත් කිරීමේ පුහුණු වැඩසටහනකට සහභාගි වෙමිණි. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍යවල නිලධාරීහු සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක ලේකම්වරයා –

ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ කළ යුතු කාර්යයන් පිළිබඳව මෙරට සෑම දෙනාම හොඳ අවබෝධයක් ලබා තිබීම ඉතා වැදගත්. මෙහිදී සියලු ආයතන සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්. මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේදී අප පළමුව ආදර්ශවත් විය යුතුයි. එය ඉතා වැදගත්. කහ ඉර මගහැර රජයේ සේවකයෝ පාර පනින අයුරු අප දැක තිබෙනවා. ලක්ෂ 16ක් පමණ වන රජයේ සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන අනුව ආදර්ශවත්ව ක්‍රියා කළ හැකියි. ටේක් කෙයා කියා මහා මාර්ග අනතුරු අවම කිරීමේ වැඩ සටහනක් අප ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. ඊළඟ කැබිනට් මණ්ඩලයේදී (19) එය සලකා බැලීමට නියමිතයි. සමහර ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුදල් යොදවන්න වෙනවා. ඇතැම් ඒවා මුදල් නොමැතිව ක්‍රියාත්මක කළ හැකියි. මෙම වැඩ සටහන විවිධ ආයතන සමඟද එකාබද්ධවද ක්‍රියාත්මක කළ හැකියි. ක්ලීන් ශ්‍රී ලංකා පිළිබඳව තිබෙන වෙබ් අඩවියෙන් අපට බොහෝ දේ දැනගත හැකියි.

මෙහි ප්‍රදාන දේශනය පවත්වමින් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (ආචාරධර්ම) දුලිප් සොමිරත්න මහතා මෙහිදී වැඩිදුරටත් ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය හා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සේවයට මෙම සංකල්පයේ පවතින භූමිකාව පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කළේය. පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ගොඩනැඟීම සඳහා රජයේ ත්‍රිවිද ප්‍රවේශය, ආචාර්ය ධාරිමික අභියෝග, පාරිසරික අභියෝග, සමාජමය අභියෝග, ජීවන රටාව වෙනස් කිරීම, රිය අනතුරු වළක්වා ගැනීම, පිරිසිදු හා ආරක්ෂිත මහා මාර්ග, ආහාරවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව, පිරිසිදු පොදු වැසිකිළි සහ පහසුකම්, ආබාධ සහිත වූවන්ට හිතකර නගර, ශබ්දයෙන් තොර කලාප නිර්මාණය කිරීම, එකමුතුකම, ආත්ම ශක්තිය, වගවීම, විශ්වාසය, නිවැරදි දැක්ම, අරපිරිමැස්ම, විනිවිදභාවට, සමානාත්මතාවය, එකඟතාවය, නිහතමානීකම ආදී කරුණු ගණනාවක් මෙහිදී දුලිප් සොමිරත්න මහතා මෙහිදී සාකච්ඡා කරන ලදි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අනුව රට අපේක්ෂා කරන කොටස්කරුවෙකු වීමට රජයේ සේවකයින්ගේ කාර්යභාරය පිළිබඳව මෙහිදී ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (ආචාරධර්ම) දුලිප් සොමිරත්න මහතා ප්‍රායෝගිකව කරුණු ඉදිරිපත් කරමින් මේ අවස්ථාවට සහභාගි වූ කණ්ඩායම සමඟ අදහස් හුවමාරු කර ගන්නා ලදි. ළමා පරපුර සහ තරුණ පරපුර සම්බන්ධයෙන් ජනමාධ්‍ය සතු වගකීමද මෙහිදී සාකච්ඡා විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT