Friday, May 16, 2025
Home » රනිල්ගේ විශේෂ රැස්වීමට සජබ-පොහොට්ටුව ඇවිත් නෑ

රනිල්ගේ විශේෂ රැස්වීමට සජබ-පොහොට්ටුව ඇවිත් නෑ

by mahesh
May 16, 2025 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

බහුතර බලයක් නොමැති පළාත් පාලන ආයතනයන් හි බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල මහලේකම්වරුන් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (15) පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය සහභාගී වී නැත.

කෙසේ වුවද එම පක්ෂවල මහලේකම්වරු ප්‍රකාශ කර ඇත්තේ විපක්ෂය එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ ක්‍රියාදාමයෙන් බැහැර නොවන බවයි. පසුගිය 06දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ආයතන 266ක් ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත්වූ නමුත් පළාත් පාලන ආයතන 186ක බහුතර බලය එම පක්ෂයට අහිමි වී තිබේ.

එවැනි පසුබිමක එම පළාත් පාලන ආයතනයන් හි බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර සාකච්ඡා පවතින බව ද එය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ද වාර්තා වෙයි.

මෙලෙස පැවැත්වෙන සාකච්ඡා සඳහා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂවල නියෝජිතයින් එක්ව තිබෙන නමුත් ඊයේ පැවැති ඒ ඒ පක්ෂවල මහලේකම්වරුන්ගේ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය එක්වී නොමැත.

පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම සාකච්ඡා සඳහා සහභාගි නොවන බව ද එවැනි සන්ධානයක් තුළින් බලය පිහිටුවිය යුතු නොමැති බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි. පක්ෂයක් ලෙස වෙනම ප්‍රතිපත්ති ඇතිව වෙනම ගමනක් යන බව පෙන්වාදෙන ඒ මහතා අප අතර බලය පිහිටුවීම සඳහා සන්ධානගත වීමක් අවශ්‍ය නොවන බව ද කියා සිටියේය. ඒ ඒ පළාත් පාලන ආයතනවල ජනතාවගේ මතය සම්බන්ධයෙන් කටයුතු කරන බව ද එම ජනතාවගේ මතයට ගරු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොට්ඨාස 37ක් ජයග්‍රහණය කර තිබෙන බවත් එම ආයතනයන් හි ජනතා නියෝජිතයින් හමුවී ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් ය. එදා අපට චෝදනා කළ පාර්ශ්ව අද ඊටත් එහා හැසිරෙන බව සඳහන් කරන මන්ත්‍රීවරයා සභා පිහිටුවීම සඳහා සැලසුම් කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසිය යුතු බවට කියා සිටියේය.

දේශපාලන පක්ෂ සමඟ නොව පුද්ගලයන් සමඟ සාකච්ඡා කරන බව පෙන්වාදෙන ඒ මහතා පසුගිය කාලයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ යම් විරසකයක් ඇතිවුණේ ද මෙලෙස පුද්ගලයන් සමඟ සාකච්ඡා කළ නිසා බව ද සිහිපත් කරයි. අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින් අපි අපේ දේශපාලනික තීන්දු තීරණ එක් එක් සභාවල ජනමතයට අනුකූලව ගන්නා බව ද සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT