සුප්‍රකට Forbes සඟරාව පළ කළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ටයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද ඇතුළත් කර තිබේ. ‘Wild Cookbook’ YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වා සහ ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායිකාවක වන Silver Aisle හි නිර්මාතෘ යානිකා අමරසේකර යන අය මෙලෙස එම ලැයිස්තුවට එක්කර ඇත.
‘Wild Cookbook’ නාළිකාව පසුගිය මාර්තු මස 28 වන දින සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකර ගිය අතර, ඒ අනුව මිලියන 10ක ග්‍රාහකයන් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික නාළිකාවේ හිමිකරුවා බවට ඔහු පත්විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකර ගැනීමට ද ඔහුට හැකිව තිබේ. 2020 වසරේ දී අාරම්භ කරන ලද මෙම යූ ටියුබ් නාළිකාවේ වීඩියෝ 600කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර, එය බිලියන 4කට වැඩි නැරඹුම් ලබාගෙන ඇත. ඔහුගේ සුවිශේෂී ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සහ එය ඉදිරිපත් කරන ආකාරය ඔහුගේ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවක් වෙයි.
මේ අතර, යානිකා අමරසේකර Retail & Ecommerce අංශයෙන් 2025 Forbes 30 Under 30 ආසියා ලැයිස්තුවට නම් කර තිබෙන අතර, ඇය විවාහ උත්සව සඳහා තෑගි වෙන් කිරීමට ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කළ ඩිජිටල් වේදිකාව වන Silver Aisle හි නිර්මාතෘවරිය වෙයි. 2019 වසරේ දී ආරම්භ කළ මෙම ඩිජිටල් වේදිකාව මේ වන විට ජීවිතයේ සියලු අවස්ථාවන් සඳහා තෑගි වෙන් කිරීම හා බෙදාහැරීම, භෝජන සහ නිවාඩු පැකේජ සහ අශ්වයන් පැදීම, ගොල්ෆ් සහ මැටි භාණ්ඩ සැකසීම ආදී විවිධ අංශ යටතේ සේවාවන් සපයන පුළුල් ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. ඇය ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යවසායකත්වය, නවෝත්පාදන සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් ද කැලිෆෝනියාවේ UC Berkeley හි ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් ද හිමිකර ගෙන ඇත.