Friday, May 16, 2025
Home » කොළඹ මහ නගර සභාවට හිටපු නගරාධිපතිවරුන් දෙදෙනකුගේ මුණුබුරන්

කොළඹ මහ නගර සභාවට හිටපු නගරාධිපතිවරුන් දෙදෙනකුගේ මුණුබුරන්

by mahesh
May 16, 2025 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ, රක්ෂණ ශ්‍රියන්ත
ඉම්රාන් ඒ.කාදර් සහ රුව­යිස් හනීෆා

කොළඹ මහා නගර සභාව සඳහා ලයිස්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ලෙස හිටපු නගරාධිපතිවරුන් දෙදෙනෙකුගේ මුණුබුරන් දෙදෙනෙකු පත්වීමට නියමිතය.

ඒ අනුව කොළඹ හිටපු නගරාධිපතිවරයකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු ද වන එම්.එච්. මොහොමඩ් මහතාගේ මුණුබුරෙකු වන වෛද්‍ය රුවයිස් හනීෆා සහ හිටපු නගරාධිපතිවරයකු සහ ඇමැතිවරයෙකු වන ජබීර්.ඒ. කාදර් මහතාගේ මුණුබුරෙකු වන කළමනාකරණ විශේෂඥ ඉම්රාන් ඒ. කාදර් මහතා මෙසේ පත්වීමට නියමිතය.

කොළඹ කීර්තිමත් දේශපාලන පසුබිමකට හිමිකම් කියන ජබීර් ඒ. කාදර් සහ ඒ හා සමානම ගෞරවයක් දිනා සිටින එම්.එච්. මොහොමඩ් යන මහත්වරුන්ගේ මුණුබුරන් වන දෙදෙනාම ජාතිවාදය පිටුදකිමින් සැමට සමානව සලකන මානව හිතවාදී සහ සමාජශීලි මහජන ප්‍රසාදය දිනාගත් පරපුරක උරුමකරුවෝ වෙති.

වෛද්‍ය රුවයිස් හනීෆා මහතා ජාතික සමගි ජන බලවේගයෙන් මෙවර කොළඹ පුරපති ධුරයට තරග කළ අතර, ඔහු මීගමුව, අම්පාර සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල්වල සේවය කර රෝගීන් දස දහස් ගණනකට සේවය සැපයූ වෛද්‍යවරයෙකි. ඔහු කැලණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල දේශන පවත්වන අතර, රුවයිස් හනීෆා මහතා නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම, පවුල් සෞඛ්‍ය සේවාව, කොළඹ මහා නගර සභා බලප්‍රදේශයේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට කැපවීමෙන් වැඩ කරන අයෙකි.

හිටපු නගරාධිපති ජබීර් ඒ. කාදර් මහතාගේ මුණුබුරා වන ඉම්රාන් ඒ. කාදර් මහතා ඔස්ට්‍රෙලියාවේ වැඩිදුර අධ්‍යාපනය හදාරා බෑන්ක් ඔෆ් ඔස්ට්‍රේලියාහි සේවය කළ අයෙකි. ලෝකයේ විශාලතම තේ අපනයන සමාගම වන අක්බාර් බ්‍රදර්ස් සමාගම් සමූහයේ ළාබාලතම කළමනාකරුවකු ලෙසද ඔහු කටයුතු කර ඇත. මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නසීඩ් මහතාගේ ආර්ථික උපදේශකවරයෙකු ලෙසද සේවය කොට ඇති ඉම්රාන් ඒ. කාදර් මහතා නව ලොවට ගැළපෙන ආකාරයට තිරසර නාගරිකකරණයක් ඇති කිරීමට අවශ්‍ය ආර්ථික විද්‍යාත්මක දැනුම, සමාජ විද්‍යාත්මක අත්දැකීම් රාශියකින් සහ ව්‍යාපාර පරිපාලනය සහ මූල්‍ය විනය, මූල්‍ය කළමනාකරණය පිළිබඳ බුද්ධිමතෙකි.

අමෙරිකාවේ වොෂින්ටන් ඩීසිහි සිට ලොව පුරා රටවල් 72ක ක්‍රියාත්මක මිලේනියම් බුද්ධි මණ්ඩපයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයකු ලෙස මෑතකදී කාදර් මහතා පත්ව සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT