මාස දෙකෙන් පාතාලය විනාශ කරනවා කියූ රජයට අද මේ ඝාතන සංස්කෘතිය නැති කිරීමට බැරි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද සමාජය තුළ දැවැන්ත බියකින් සැකයකින් ජනතාව ජීවත් වන බවත් එයට හේතුව මෙරට මිනීමරු කල්ලි, පාතාල කල්ලි, මැරවර කණ්ඩායම් ටී56න් උණ්ඩයෙන්, බෝම්බයෙන්, බයිනේත්තුවෙන් සමාජය පාලනය කරන නිසා බවත් හෙතෙම කීවේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ‘උදාගමින් උදාගමට’ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ආසනයේ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටා ඇති නාකන්දපුර උදා ගම්මානයේ ගැටලු සම්බන්ධයෙන් ඊයේ (14) සොයා බැලීමට ගිය අවස්ථාවේදීය.
එහිදී ඒ මහතා මෙසේද කීවේය. මේ වන විට රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. කැලෑ නීතිය ක්‍රියාත්මක වී නීතිය වල්බිහි වෙලා. මිදුලේ, නිෙවසේ, වැඩබිමේ, මගමඟ, උසාවියේ පවා මිනිස් ඝාතන සිදු වෙනවා.
මැරවරයන් අද සමාජයේ පාලනය අතට අරගෙන තිබෙනවා. මේ මාස කිහිපයට ඝාතන සිදුවීම් විශාල ප්‍රමාණයක් සිදු වෙලා තිබෙනවා. පසුගිය කාලය හා සංසන්දනය කරන විට එය සාමාන්‍ය තත්ත්වයක් බව රජය පවසනවා.
පාලකයා ජනතාව අතරට ගොස් ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදිය යුතුයි. ජංගම සේවා පැවැත්වීම විපක්ෂ නායකවරයා පමණක් නොව රටේ නායකයා සහ ආණ්ඩුවත් කළ යුතුයි. ඔවුන් විසඳුම් එක්ක ජනතාව අතරට යා යුතු වුවත් වත්මන් රජය එසේ ජනතාව අතරට නොයන නිසා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ජනතාවගේ ප්‍රශ්නවලට සවන් දී ඇහුන්කම් දී ජනතාවගේ දුක කඳුළ වේදනාව අසා ඒවාට විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවා. ගමින් ගම, උදාගමින් උදාගමට, උදා කළ ගම්මානයෙන් උදා කළ ගම්මානයට යන මේ ගමනේදී ජනතා ගැටලු හඳුනාගෙන මෙම ගම්වල ජීවත් වන සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැටලු ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි වුණා. මෙම උදා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලු හඳුනා ගෙන පාර්ලිමේන්තුවේ සහ රජයේ අවධානය යොමු කිරීමට කටයුතු කර ඒවට විසඳුම් ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.