‘ඔන්මැක්ස් ඩී.ටී. ප්‍රයිවට් ලිමිටඩ්’ නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීති විරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය වංචාවක් කිරීමේ සිද්ධියට අදාළව විදේශගතව සැඟව සිටින හත්වැනි සැකකරු වන සෑම් බස්නායකගේ සහෝදරයෙකු බව කියන පුද්ගලයකු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (15) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ හත් වැනි සැකකරු වන සෑම් බස්නායක නමැත්තකු මේ වන විට විවෘත වරෙන්තු මත ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින බවත් ඔහුගේ සහෝදරයකු බව හෙළි කරගෙන තිබෙන නිශාන්ත සමරකෝන් නමැත්තෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීහු සඳහන් කරනු ලැබුවේ, සිද්ධියට අදාළ මෙම සැකකරු 2025/3/10 කොළඹ හිල්ටන් හෝටලයේදී කෝටි එක් ලක්ෂ විසිපන් දහකට අධික මුදලක් ලබාගෙන තිබෙන බවයි. එම මුදල මෙම ජාවාරමට සම්බන්ධ හත්වන සැකකරුගෙන් ලබාගෙන ඇති බවද විමර්ශන නිලධාරීහු සඳහන් කළහ.
ඊයේ මෙම සිද්ධියට අදාළව සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව උදෑසන පැවැත්වීමට තිබුණද විත්තිකාර පාර්ශ්ව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා එම සැකකරු රැඳී සිටින සිර කුටිය වෙත ගොස් ඡායාරූපයක් රැගෙන ඇති බව සඳහන්ය.
උදෑසන පෙරට්ටුව පැවැත්වීමට නියමිත අවස්ථාවේදී විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කරනු ලැබුවේ සැකකරු පෙරට්ටුව සඳහා ඉදිරිපත් කිරීමට ආවරණයෙන් තොරව සිර මැදිරියේ තබා තිබෙන බවය.
එම අවස්ථාවේදී පෙරට්ටුව තැබීම අවලංගු කර අතර නඩුව පසුව කැඳවනු ලැබීය.
සිද්ධියට අදාළ නඩුව පසුව මහේස්ත්‍රාත්තුමියගේ නිල මැදිරියේදී කැඳවනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ බන්ධනාගාර නිලධාරීන් සඳහන් කරනු ලැබුවේ තම සේවාදායකයා සමඟ කතා කිරීමට අවශ්‍ය බව පවසමින් බන්ධනාගාර නිලධාරීන්ගේ අවසරයකින් තොරව පෙරට්ටුව සඳහා යොදනු ලැබූ සැකකරුගේ ඡායාරූපයක් රැගෙන ඇති බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හිතාමතාම පෙරෙට්ටුව අවලංගු කිරීමට මෙලෙස ක්‍රියාකර ඇති බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන සිදු කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
උදෑසන සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ සියලුම නීතිඥවරුන් අප්‍රසාදය පළ කරන බව ද දැන්වීය.