Friday, May 16, 2025
Home » මුල් නඩු වාර්තාව නැතිව විභාගයට ගැනීම ගැන විත්තියෙන් විරෝධතා
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය

මුල් නඩු වාර්තාව නැතිව විභාගයට ගැනීම ගැන විත්තියෙන් විරෝධතා

by mahesh
May 16, 2025 1:00 am 0 comment

චන්දන ජයවීර

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණය ඉදිරියේ පවරා ඇති නඩුව, මුල් නඩු වාර්තාව නොමැතිව විභාගයට ගැනීම සම්බන්ධයෙන් විත්තිය ඊයේ (15) විරෝධතාවක් ඉදිරිපත් කළේය.

එම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා මුල් නඩු වාර්තාව කැඳවීමට සහ සාක්ෂි විභාගය ලබන ජූනි 19 වැනි දා සිදු කිරීමට නියම කළේය. එදින අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා හැටියට කටයුතු කළ කපිතාන් නිර්මාල් ද සිල්වා මහතාට අවවාද කළේය.

කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් දේශීය ජල තීරයට බරපතළ හානියක් සිදු කිරීම සම්බන්ධයෙන් සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ අධි චෝදනා අටක් යටතේ විත්තිකරුවන් 8 දෙනකුට විරුද්ධව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

රුසියන් ජාතික කපිතාන් ටියුට්කාලෝ විටැලි, දේශීය නියෝජිත සමාගමේ සභාපති අර්ජුන ඉන්ද්‍රජිත් තිසේරා හෙට්ටිආරච්චි ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනකු නඩුවේ චුදිතයන් වේ. නඩුවේ 4 වැනි හා 5 වැනි විත්තිකරුවන් වන ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ දේවින්ද හෙට්ටිආරච්චි යන විත්තිකරුවන්ට පූර්වගාමී මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විවෘත වරෙන්තු නිකුත් කර තිබේ. ඔවුන් විදේශගතව සිටින්නේය යන පදනම මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වගන්තිය යටතේ එම විත්තිකරුවන් නොමැතිව නඩුව විභාග වේ.

පැමිණිල්ලේ සාක්ෂි විභාගය සිදු කෙරෙමින් තිබුණු අවස්ථාවේ නඩු විභාගය අත්හිටුවන ලෙස විත්තියේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කරන ලදී. එම පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එක්ස්ප්‍රස් පර්ල් නඩු විභාගය අත්හිටුවීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව කල් දමා තිබුණු මහාධිකරණ නඩු විභාගය යළි ඊයේ (15) ආරම්භ විය.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයට ඉදිරිපත් කළ මුල් නඩු වාර්තාව මහාධිකරණයට නොලැබීම නිසා එය නොමැතිව නඩුව පවත්වා ගෙන යෑමෙන් විත්තියට අගතියක් වන බවට නැව් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කරුණු දක්වන ලදි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කරුණු දක්වමින් ලබන 20 වැනි දා නඩුව යළි කැඳවන අවස්ථාවේ ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු කරන බව කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT