කොත්මලේ රම්බොඩ මාරක බස් අනතුර සිදුවූ ස්ථානයට ආසන්නයේදී සිදු වූ වෑන් රථ අනතුරට හේතුව එහි තිරිංග ක්‍රියා විරහිත වීම බව මූලික පරීක්ෂණයෙන් අනාවරණය වී ඇති බව කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර රත්නායක මහතා පවසයි.
මෙ සමඟ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළියාම නිසා විසිදෙනකු තුවාල ලබා ගම්පොළ, පේරාදෙණිය, මහනුවර හා කොත්මලේ රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
කොත්මලේ රෝහලින් දාහත් දෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට මාරුකර එවීමෙන් පසු ඉන් හතර දෙදෙනකු මහනුවර ජාතික රෝහලටත් ළමුන් දෙදෙනෙකු පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලටත් මාරු කර යවා තිබේ.
රාජාංගණය ප්‍රදේශයේ සිට පැමිණි එකම පවුලේ පිරිසක් රැගත් වෑන් රථයක් නුවරඑළිය බණ්ඩාරවෙල ප්‍රදේශවල සංචාරය කිරීමෙන් පසු ඊයේ සවස යළි නිවෙස් වෙත යමින් සිටිය දී මෙම අනතුර සිදුව තිබේ.
ගම්පොළ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රම්බොඩ කන්ද බැස එමින් තිබියදී වෑන් රථයේ පසුපස තිරිංග ක්‍රියා විරහිත වීම නිසා රියැදුරු විසින් මාර්ගය අයිනේ ඇති පස් කණ්ඩියක් වෙත වෑන් රථය වැද්දීමට සැලසුවත් වේගයෙන් පැමිණි වෑන් රථය එහි තිබූ ගසක අඩි දහයක් පමණ උසින් වැදී නැවතත් පහළින් තිබූ කොස් ගසක අඩි 12ක් පමණ උසින් වැදී බිමට වැටී තිබේ. මෙම දරුණු අනතුර නිසා වෑන් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර එහි සිටි පිරිසෙන් දාහත් දෙනකු බරපතළ ලෙස තුවාල ලබා තිබේ.
මෙම වෑන් රථය තුළ ගැහැනුන් දස දෙනකු, පිරිමින් සිවු දෙනකු හා ළමුන් හය දෙනකු සිට ඇති බව පොලිසිය පවසයි.