Friday, May 16, 2025
Home » ශ්‍රී ලංකා රජයත් ඉන්දියාවේ EXIM බැංකුවත් ද්වි-පාර්ශ්වීය ගිවිසුම්වලට එළැඹේ

ශ්‍රී ලංකා රජයත් ඉන්දියාවේ EXIM බැංකුවත් ද්වි-පාර්ශ්වීය ගිවිසුම්වලට එළැඹේ

by mahesh
May 16, 2025 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ

මෙරට බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ තවත් සුවිශේෂී පියවරක් ඉදිරියට තබමින් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අපනයන ආනයන බැංකුව (EXIM)අතර ද්වි-පාර්ශ්වික සංශෝධන ගිවිසුම්වලට අත්සන් තැබීම ඊයේ (15) සිදු කෙරිණි.

මේ ද්වි-පාර්ශ්වික සංශෝධන ගිවිසුම් අත්සන් කිරීම මෙරට බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් සන්ධිස්ථානයකි.

ප්‍රංශය සහ ජපානය සමඟ නිල ණය හිමි කමිටුවේ සම සභාපතිත්වය දරමින්, මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නායකත්වය දීමේදී ඉන්දීය රජය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. අර්බුදයේ උච්චතම අවස්ථාවේදී හදිසි අවශ්‍යතා සඳහා සහාය වෙමින් ඉන්දීය රජයේ නායකත්වය, කැපවීම, ඵලදායී මැදිහත්වීම, ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ අභියෝග ජය ගැනීමට සහ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීමට කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට මෙරටට උපකාරී විය.

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අපනයන-ආනයන බැංකුව (EXIM) අතර ණය රේඛා සහ ගැනුම්කරුගේ ණය ගිවිසුම්වලට අදාළ ද්වි-පාර්ශ්වික සංශෝධන ගිවිසුම් අත්සන් කිරීම පිළිවෙළින් 2025 මාර්තු මස 25 සහ 2025 අප්‍රේල් මස 03 දිනවල සිදු විය.

ඉන්දීය රජය සමඟ ප්‍රතිව්‍යුහගතකරන ලද ණය රේඛා 07 සහ ගැනුම්කරුගේ ණය පහසුකම් ගිවිසුම් 04හි මුළු මුදල ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 930.8කි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ඉන්දියානු EXIM බැංකුවේ සාමාන්‍යාධිකාරී නිර්මිත් වෙඩ් මහතා ණය රේඛා ගිවිසුම් අත්සන් කළ අතර, ඉන්දියාවේ EXIM බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අමිත් කුමාර් මහතා ගැනුම්කරුගේ ණය ගිවිසුම් අත්සන් කළහ. ද්වි-පාර්ශ්වික සංශෝධන ගිවිසුම් අවසන් කිරීම නිසැකවම ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර ගැඹුරු සහ දිගුකාලීන ද්වි-පාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මඟපාදනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT